ඇඟ ඉදිමීම භයානක රෝග ලක්ෂණයක්

පෙබරවාරි 6, 2023

 

සිරුර ඉදිමෙනවා කිව්වම බියක් ගෙන නොදෙන සිතක් නොමැති තරම්.උදෑසනට අවදි වෙද්දි කකුල් ඉදිමිලා,මුහුණ ඉදිමිලා,අත ඉදිමිලා ......මේ වගේ අත්දැකීමකට ඔබත් නිසැකවම මුහුණ දීලා ඇති. ඇයි මේ සිරුරේ කොටස් තැනින් තැන, වරින්වර ඉදිමෙන්නේ?

 

පටක අතර වතුර එකතු වීම

රෝගයකදී මුළු සිරුරටම වඩා පළමුව ඉදිමෙන්නේ කකුල් දෙක. කකුල් දෙකින් ඉහළට ක්‍රමක්‍රමයෙන් ඉදිමෙන්න පුළුවන්. බොහෝවිට සිරුර ඉදිමීම සඳහා හේතුවන්නේ සිරුරේ ලුණු (සෝඩියම් ක්ලෝරයිඩ්) සහ වතුර ප්‍රමාණය වැඩි වීමයි. පටක අතර වතුර එකතු වීම මේ ඉදිමුමට ප්‍රධාන හේතුවයි.

 

කකුල් ඉදිමෙන්නේ ඇයි?

හයිපොතයිරොඩිසම් හෙවත් තයිරොයිඩ් ග්‍රන්ථියේ අවම ක්‍රියාකාරිත්වය හැරුණු කොට අනෙක් සියලුම ඉදිමුම් සිදුවන්නේ පෙර කී පරිදි පටක අතර වතුර එකතුවීම නිසයි. ගුරුත්වය යටතේ මේ වතුර තැන්පත්වීම සිදුවන්නේ පහළ සිටයි. බොහෝවිට ඕනෑම කෙනකුගේ කකුල් ඉදිමෙන්නේ මේ නිසයි. සිරුරේ බර දරන්නේ කකුල් නිසා කකුල් ඉදිමෙනවා යැයි සිතුවත් කකුල් ඉදිමීම සිදුවන්නේ ගුරුත්වය අනුව. පළමුව කකුල් දෙකේ සිට වතුර තැන්පත්වීම නිසා බව දැන් ඔබට වැටහෙනවා ඇති. රාත්‍රියට නිදා ගත්විට කකුල්වල ඉදිමුම අඩුවෙනවා, හවස් වෙද්දි ආයෙත් ඉදිමෙනවා යැයි පවසන්නේ මේ නිසයි. රාත්‍රියේ නිදා ගත්විට මේ වතුර එකතුවීම සිදුවන්නේ පිට ප්‍රදේශයටයි.

තවත් අවස්ථාවලදී කකුල් සමඟ මුහුණ ඉදිමේ. තවත් කෙනකුගේ මුහුණ ඉදිමෙන්නේ නැත. නෙෆ්රොටික් සින්ඩ්‍රෝම් නමැති වකුගඩු රෝගයේදී මුත්‍රා සමඟ ඇල්බියුුමින් හෙවත් ප්‍රෝටීන් පිටවීම නිසා කකුල් ඉදිමේ.

රුධිරයේ ඇති ඔස්මොටික් ප්‍රෙෂර් හෙවත් ආශෘති පීඩනවල වෙනස්කම් නිසාත් ඉදිමීම් සිදුවේ. මේ රෝගයට ගොදුරුවූවන්ට හිස පහත්කර නිදාගත නොහැකි නිසා ඔවුන්ගේ මුහුණ ඉදිමේ. රෑ නින්දෙන් සහ උදෑසනට අවදිවද්දි මුහුණ ඉදිමී තිබෙනු දක්නට ඇත්තේ මේ තත්ත්වය නිසයි.

කකුල් ඉදිමෙන බොහොමයක් රෝගවලදී රෝගීන්ට හිස පහත්කර නිදාගත නොහැකි වේ. ඒ නිසා ඒ අයගේ මුහුණ ඉදිමෙන්නේ නැත. ඒ අයට හිස පහත් කළ නොහැකිවන්නේ පෙනහලුවල වතුර එකතු‍ෙවන නිසා හුස්ම ගැනීමට අපහසු වීමෙනි. සාමාන්‍ය පටක අතර වතුර එකතුවනවා මෙන් මොවුන්ගේ පෙනහැල්ලේ ගර්ත අතර වතුර එකතු වේ.

නෙෆ්රොටික් සින්ඩ්‍රෝම් හැරුණු විට හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වය අඩුවීමේ රෝගවලදී, වකුගඩු අක්‍රියවීම, සිරෝසීස්, තයිරොයිඩ් ඌනතාවලදී කකුල් ඉදිමේ.

ඊට අමතරව ඖෂධවල ක්‍රියාකාරිත්වය මත ඇතැමුන්ගේ කකුල් ඉදිමෙන අවස්ථා ද තිබේ. එවිට වෛද්‍යවරු නිරීක්ෂණය කොට එම ඖෂධ දීම නවතාලයි. එසේවන්නේ එම ඖෂධයෙන් අදාළ පුද්ගලයාට ඇතිවන අතුරු ආබාධයක් නිසයි. එම ඖෂධය දීම නතර කර දින 5, 6ක් ඇතුළත ඉදිමුම බැස යයි. ඒ වෙනුවට වෙනත් ඖෂධයක් නියම වේවි.

 

සන්ධි ඉදිමීම

සන්ධි රෝගවලදී සන්ධි ඉදිමේ. එහිදී සන්ධි සහ ඒ අවට පටක ඉදිමේ. ඒ්වාහි ඉදිමුමට වඩා ප්‍රමුඛතම ලක්ෂණය වන්නේ වේදනාවයි. ඉදිමුමක් සමඟ ⁣වේදනාවක් ඇත්නම් එතැන ඇත්තේ සන්ධි අමාරුවකි.

 

සෙලියුලයිටීස්

සිරුරේ සමහර තැන් ඉදිමී, රතුවී උණක් ද හටන්නේ නම් ඒ සෙලියුලයිටීස් රෝග තත්ත්වයයි.

නිරක්තිය

නිරක්තිය නිසා ද ඇතැම් අයගේ සිරුර ඉදිමේ. මෙය පොදු කාරණයක් නොවේ.හිමොග්ලොබින් ප්‍රමාණය ඉතාම අවම අගයක් වුවත් සිරුරේ කවර තැනක් හෝ ඉදිමී නොතිබෙන්නට පුළුවනි.හිමොග්ලොබින් අගය 7ට වඩා අඩුවූ විට රුධිරය දෙන්නට සිදුවේවි. මේ නිසා නිරක්තිය ඇති සෑම කෙනකුගේම සිරුර හෝ සිරුරේ කොටස් ඉදිමෙන්නේ නැත.නිරක්තිය ඇතිවිට හෘදයට රුධිරය ගමන් කරන්නේ අඩුවෙනි.

කෙසේවෙතත් ඉදිමුමක් දින කිහිපයක් ඇත්නම් ගණන් නොගෙන සිටීම සුදුසු නැත. වෛද්‍ය උපදෙස් කරා යෑම වඩාත් යෝ්‍ග්‍ය වේ.

උපදෙස්

කොළඹ ජාතික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

උපුල් දිසානා⁣යක