වර්ෂ 2025 ක්වූ May 26 වැනිදා Monday
40 පැන්නම ප්‍රෙෂර් චෙක් කරගන්න

රුධිර පීඩනය නිවැරැදි ලෙස මැන, පාලනය කර,
දිගු කලක් නීරෝගිව ජීවත් වෙමු
අධි රුධිර පීඩනය යනු ඇත්තෙන්ම නිහඬ මාරයෙකි. වැඩිහිටියන් තිදෙනෙකුගෙන් එක් අයෙක් අනිවාර්යයෙන්ම අධි රුධිර පීඩනයෙන් පෙළේ. මේ අයගෙන් සියයට 50ක්ම තමන් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව නොදනී.
*එසේම අධි රුධිර පීඩනය යැයි රෝග විනිශ්චයක් ලබාදී ඇති පුද්ගලයින්ගෙන් 1/3ක් පමණක් රුධිර පීඩනය පාලනයකින් යුතුව පවත්වාගෙන යයි.
* මරණවලින් වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ හෘදයාබාධ, ආඝාත, වකුගඩු රෝග වැනි තත්ත්වයන් නිසායි. මේ සඳහා බලපාන ප්‍රධානම තත්ත්වය සහ වළකා ගත හැකි තත්ත්වයද වන්නේ අධි රුධිර පීඩනයයි. මෙය පාලනය කළ හැකි නම් අකල් මරණවලට ගොදුරු වීමද වළකා ගත හැකි වනු ඇත.
*අධි රුධිර පීඩනය යනු 140 - 90ට වඩා වැඩිවීමයි. 120 - 80ට වඩා අඩුවෙන් තිබීම සාමාන්‍ය තත්ත්වයයි.
140ට ඇති අගය (systolic pressure) 10කින් අඩු කළ හැකිනම් 90 අගය (Diostalic pressure) 5 කින් අඩු කළ හැකිනම්, හෘදය අකර්මණ්‍යතා සියයට 40කින් අඩු කළ හැකි වේ. අංශබාගය සෑදීම සියයට 30කින් අඩු කළ හැකියි. හෘදයාබාධ සියයට 20කින් අඩු කළ හැකියි.
හෘදවාහිනිය සම්බන්ධ මෙවැනි සියලුම රෝගී තත්ත්වයන් සියයට 15කින් 20කින් අඩු කළ හැකි වේ.
අංශබාගයක් හෝ හෘදයාබාධයක් ඇතිවී රෝහල්ගත වූ විටයි, බොහෝදෙනා තමන් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව දන්නේ.
අධි රුධිර පීඩනය නිසා සිරුරට වන හානිය
*අංශබාගය ඇතිවීම.
*ඇස් පෙනීමට බලපෑම් කරයි.
*හෘද අකර්මණ්‍යතාවට හේතු වෙයි.
*වකුගඩු අකර්මණ්‍ය වේ.
අධි රුධිර පීඩනය ඇති බව දැන ගන්නේ කෙසේද?
*වයස අවුරුදු 35ට වැඩි ඕනෑම කෙනෙක් වෛද්‍ය හමුවකදී රුධිර පීඩනය මැන ගැනීම වැදගත් වේවි.
*පවුලේ අයට අධි රුධිර පීඩනය ඇත්නම්,
*තරබාරු නම්
*ව්‍යායාම නොකරන්නේ නම්
*සිරුර වෙහෙස වන්නේ නැතිනම්
*ගර්භිණී සමයේ අධි රුධිර පීඩනය තිබිණි නම්
අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව දැනගත් පසු
*160 - 100ට වැඩි නැත්නම් එක්වරම ඖෂධ ගැනීමට අවශ්‍ය නැත. මාස 3ක පමණ කාලයක් ජීවන රටාවේ යම් යම් වෙනස් කිරීම් සිදුකොට නිරීක්ෂණය කළ හැකියි.
සෞඛ්‍යසම්පන්න ආහාර ගැනීම
වැඩිපුර ලුණු භාවිතය සුදුසු නැත. ලුණු භාවිතය අඩු කරන්නේ නම් systolic pressure 3ත් 5ත් අතර ප්‍රමාණයකින් අඩු කළ හැකි වේ.
සෝඩියම් සංඝටක භාවිතයට ගැනීම සුදුසු නොවේ. ලුණු යනු සෝඩියම් ක්ලෝරයිඩ්ය. සෝඩියම් ක්ලෝරයිඩ්වලට අමතරව සෝඩියම් බයිකාබනේට්, සෝඩියම් ග්ලූටමේට් ....ආදී වශයෙන් සැඟවුණු ලෙස සෝඩියම් සංඝටක සිරුර තුළට ඇතුළු වේ. මිනිස් සිරුරකට දිනකට අවශ්‍ය ලුණු ප්‍රමාණය මිලිග්‍රෑම් 5කි. එනම් තේ හැන්දක ප්‍රමාණයක ලුණුය. නමුත් සමීක්ෂණවලට අනුව ලංකාවේ එක් පුද්ගලයෙක් දිනකට මිලිග්‍රෑම් 13ක ලුණු ප්‍රමාණයක් පරිභෝජනයට ගනී.
පොටෑසියම්වල ඇති ලුණු සිරුරට හිතකර වේ. මේවා කෙසෙල්, අලි පේරවල අඩංගු වේ.
*අප ගන්නා ආහාරයේ ඇති ලිපිඩ වර්ග වැදගත් වේ. තෙල් වැඩිපුර ඇති ආහාර ගැනීමෙන් රුධිරවාහිනී අවහිර වෙයි. ආඝාත, හෘදයාබාධ ඇතිවන්නේ ඒ නිසයි. *තරබාරුකම ඇතිවන්නේ ක්‍රියාශීලී නොමැති විටයි. එක දිගට පැය තුන හතරක් එකම තැන සිටීමෙන් ක්‍රියාශීලී බවක් ඇති නොවේ. එයද රුධිර පීඩනය වැඩිවීමට හේතුවකි.
*ව්‍යායාම් කිරීම
මෙහිදී Gym එකකට යෑමම අවශ්‍ය නොවේ. වේගයෙන් ඇවිදීම, බයිසිකල් පැදීම වැනි (Modarate Exercise) ව්‍යායාම්ද වැදගත් වේ. සතියකට මිනිත්තු 150ක් වේගයෙන් ඇවිදීම, එනම් දිනකට පැය භාගයක් ඇවිදීම වැදගත් වේ.
*උසට සරිලන බර නොහොත් BMI අගය 20 -23 අතර පවත්වාගත යුතුවේ.
බොහෝ විට දකුණු ආසියාතික රටවල අයට ඇත්තේ උදරය ප්‍රමාණයෙන් වැඩිවීමයි. ගැහැනු කෙනෙකු නම් ඉණෙහි ප්‍රමාණය සෙන්ටිමීටර් 80කට වඩා අඩුවෙනුත් පිරිමියකු නම් සෙන්ටිමීටර් 94කට වඩා අඩුවෙනුත් පවත්වා ගත යුතු වේ.
ඔබත් වයස අවුරුදු 35ට වැඩි අයෙක්ද එසේ නම් රුධිර පීඩනය මැන බලාගන්න. යම් හෙයකින් රුධිර පීඩනය වැඩිනම් සෞඛ්‍යසම්පන්න ආහාර රටාවක් කෙරෙහි හුරු විය යුතුම වේ.
රුධිර පීඩනය ශරීරයේ වැඩි වූ විටදී වැදගත් අවයවවලට හානිගෙන දෙයි. හෘදය වස්තුවට, මොළයට, වකුගඩුවලට ක්‍රම ක්‍රමයෙන් හානි පමුණුවයි. මෙසේ අවයවවලට හානි පැමිණවූ විටදී අකල් මරණවලට ගොදුරු වීමට පුළුවනි.
එසේනම් අධි රුධිර පීඩනය වළක්වා ගන්නේ කෙසේද? සෞඛ්‍යසම්පන්න ආහාර, ක්‍රියාශීලී ජීවිතය, දුම් පානයෙන්, මත්පැන් පානයෙන් වැළකී සිටීම වැදගත් වේ. එසේ වීත් අධි රුධිර පීඩනය පාලනය කළ නොහැකි නම් ඖෂධ ලබාගන්නට සිදු වේවි.
ඖෂධ දින කිහිපයක් ගනිද්දී අධි රුධිර පීඩනය පාලනය වේ. මේ නිසා ඉදිරියට ඖෂධ නොගෙන සිටීමට වග බලා ගනී. මෙය වැරදි මතයකි. මෙහි බල පැවැත්ම ඇත්තේ උපරිම පැය විසි හතරක් සඳහා පමණි. සමහර ඖෂධ පැය විසි හතරක් බල පැවැත්වෙන්නේද නැත. ඒ නිසා උදේ සවස ගැනීමට දෙයි.
මේ නිසා අධි රුධිර පීඩනය සඳහා ලබා දෙන ඖෂධ නිතිපතා ගැනීමට සිදුවේ. නිතිපතා ඖෂධ ගැනීමෙන් වකුගඩු අකර්මණ්‍ය වේ යැයි බොහෝ අය සිතයි. එහෙත් අධි රුධිර පීඩනය නිසා සිදුවන්නේ වකුගඩු අකර්මණ්‍ය වීමයි. මේ නිසා අධි රුධිර පීඩනය පාලනය කිරීම අතිශය වැදගත් කරුණකි. මේ ඖෂධවල ඇති අතුරු ආබාධ ඉතාම අවමයි. කලාතුරකින් කෙනෙකුගේ කකුල් ඉදිමීම වැනි දේ සිදුවිය හැකියි. එසේ වුවහොත් ඖෂධ වර්ගය මාරු කරයි.
මේ සමඟම අධි රුධිර පීඩනය පාලනය වී ඇත්දැයි මැන බැලීමද කළ යුතු වේ.
උපදෙස් :
ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය, කායික රෝග විශේෂඥ වෛද්‍ය
චමිලා මෙත්තානන්ද
ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශිලන්ති සෙනෙවිරත්න