ඔයා ගැන හැමදේම හරියටම දැන ගන්න

හරියටම ඔබ ගැන කියන්න හඳහනේ කොපිය අපට එවන්න.
අගෝස්තු 4, 2025

හඳහන... අපි කවුරුත් අපේ හෙට දවස පිළිබඳ කල්තියාම දැනුම්වත් වෙන්න කැමැතියි. සමාජය මේ තරමට අනාවැකි පසුපස හඹා යන්නේ එබැවිනි. ඔබටත් ඔබේ අධ්‍යාපනය, රැකියාව, විවාහය, දරුපල, සෞඛ්‍ය තත්ත්වය වගේම ඉදිරි කටයුතු පිළිබඳත් දැන ගන්නට උනන්දුවක් තිබෙනවා නේද? එසේ නම් අද පටන් තරුණී අරඹන ‘හඳහන‘ වි‍ෙශ්ෂාංගයෙන් ඒ පිළිබඳ කතා කරමු.

හඳහන කියන්නේ මොකක්ද?

හඳහන, කේන්ද්‍රය, ජන්ම පත්‍රය, වේලාපත්කඩ ආදී නම්වලින් හඳුන්වන මෙය යම් පුද්ගලයෙකුගේ උපන් වේලාව, උපන් ස්ථානය කේන්ද්‍රකොට ගෙන බලන විට ඉර, හඳ ඇතුළු විශ්වයේ ග්‍රහ තාරකාවන් පිහිටන ආකාරය සඳහන් කොට තැනූ සිතියමක් ලෙස සඳහන් කළ හැකිය. හඳ යනු “හා + අඳ” යන පද දෙකක එකතුවයි. එම පද දෙකෙන් පිළිබිඹු ‍ෙවන්නේ අඳ බවින් හාවූ යන්නයි. 'හන' යන්නෙන් විනාශය යන තේරුම ගෙන දේ. අඳ බවින් හා වීම නිසා ඇතිවෙන විනාශය හඳහන යන්නෙන් කියවෙයි. අඳ බවින් හා නොවී යන්නට ඇති ගමන නිවන් මඟ ගමන් කිරීමයි. එහෙත් වර්තමානය වනතුරා ඔබ ඒ මඟ ගමන් නොකළ නිසා අදටත් ඔබ සංසාරයේ ගමන් කරයි. අඳ බව යනු ප්‍රඥාවෙන් තොරවීමයි. ප්‍රඥාව අඳවීම නිසා ලෝභ, ද්වේශ, මෝහ යන අකුසලයන් හරිහැටි අවබෝධ නොවේ. මේ නිසා විනාශය කරා ළඟා වේ. මෙම විනාශය කල් තියා දැනගත හැකි පත්‍රය හඳහන වේ.

හඳහනක් බැලීමෙන් අපි බලාපොරොත්තු වන දේ මොකක්ද?

හඳහන තම ජීවිතය ගැන යමෙකුට අනාවැකි පළ කරන සම්ප්‍රදායික ගණිත ශාස්ත්‍රයට අනුව සැකසෙන්නකි. බොහෝ විට මෙමඟින් අනාගතයේ සිදු විය හැකි සිදුවීම් හා අතීතයේ දී සිදුවූ තොරතුරු ද දැනගත හැකියි. හඳහනේ සඳහන් වන්නේ පෙර සසරෙන් අප ගෙනා කර්මයන්ය. මේවා අතර පින් හා පව් යන දෙවර්ගයම තිබේ. කර්ම සටහන් නිවැරදිව පරීක්ෂා කිරීමෙන් මෙම ආත්මභාවයේ දී අප හට ගෙවීමට සිදුවන කර්ම පලයන් ගැන යම්තාක් දුරකට අවබෝධයක් ලබා ගැනීමට හැකිවෙයි.

යම් කෙනෙක්ට හඳහනක් නැතිනම් එය හදාගන්න පුළුවන්ද?

ඔව්. උපන් වෙලාව, උපන් දිනය හා උපන් ස්ථානය නිවැරදිව දන්නේ නම් පමණක් හඳහනක් සාදා ගැනීමට හැකිවේ.

හඳහනක බලපෑම ඒ හඳහනේ හිමිකරුට පමණද? එසේත් නැත්නම් මවුපියන්ට, දරුවන්ට, බිරියට, ස්වාමියාට බලපානවාද?

හඳහනෙන් සඳහන් වන්නේ පෙර සසරෙන් අප ගෙනා කර්මයන්ය. එවිට හඳහනක බලපෑම පවතින්නේ එහි හිමිකරුට පමණි. එහෙත් වක්‍රාකාරයෙන් එම හිමිකරුගේ භාර්යාවට, දරුවන්ට, මවුපියන්ට එම කර්ම විපාකවලට මුහුණ දීමට සිදුවේ. මන්දයත් අප සසරේ එකට රැස්කළ කර්ම එකටම විපාක වශයෙන් භුක්ති විඳීමට සිදුවන බැවිනි. ධම්මපදයේ පළමු ගාථාවෙහි එන පරිදි අප අකුසල කර්ම රැස් කරන විට එය ගැල අදින ගොනාගේ පාදය අනුව ඇදෙන රෝදය සේ ඔහු පසුපස දුක ලුහුබඳින ආකාරයෙන් අප රැස් කරන කර්ම සංසාර චක්‍රයේදී අපට විපාක වශයෙන් මුහුණ දීමට සිදුවේ. ඒ අනුව හඳහනක බලපෑම ඒ සඳහනේ හිමිකරුටම පමණක් නොව වක්‍රාකාරව ඔවුන්ගේ සමීපතමයන්ට ද විපාක විඳීමට සිදුවෙයි.

හඳහනක පෙන්වන දුබලතා සඳහා ප්‍රතිකර්මයන් කළ හැකිද? ඒ මොනවාද?

දුබලතා යනු අපල වේ. අපල හා කර්මය යන වචන ඇසූ පමණින්ම අප සිත තුළ යම් තිගැස්මක් ඇතිවෙයි. අපල කාලය යනු අප කරා වූ අකුසල කර්මයන්ට දඬුවම් ලබාදෙන්නා වූ කාලය යැයි පැවසුවහොත් නිවැරදි වේ. කර්මය හා විපාකය අතර පවතින සම්බන්ධතාව බෞද්ධ දර්ශනයේ මනාව පැහැදිලි කර ඇත. අපල යනු අයහපත් කර්මයේ විපාක කැරකී එන ආකාරයයි. එහිදී බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වන්නේ සෙනසුරු පිළිබඳයි. සෙනසුරා දෙවැනි අවස්ථාවක් ලබා නොදෙයි. දිළින්දන් මහා ධනවතුන් කරන්නටත්, මහා බලවතුන් සිඟමන් යැදෙන යාචකයින් කිරීමටත් සෙනසුරුට හැකිය.

හඳහනක මෙවැනි අපල උපද්‍රව, ඒරාෂ්ටක ආදී දුබලතා හඳුනාගෙන ඒ සඳහා නිවැරදි වූ පිළිවෙත් ප්‍රතිකර්මයන් කළ හැකිය. නිදසුන් ලෙස දාන, ශීල, භාවනා ආදිය සිදු කිරීමට උපදෙස් ලබා දීම හඳහනක කර්ම සටහන් නිවැරදිව පරීක්ෂාවෙන් සිදුකළ හැකිය.

පුද්ගලයෙකුට මරණාසන්න රෝගයක් වේ නම් ලෙඩ ඇඳක සිටියදී හෝ යම් කරදරයකට පත්වීමෙන් පසුව හඳහන පරීක්ෂා කර පලක් තිබේද?

ඔව්. එම පුද්ගලයා යම්කිසි කරදරයකට හෝ රෝගයකට පාත්‍ර වී තිබෙන්නේ එම පුද්ගලයා කළ කර්මයන්ට විපාක වශයෙනි. එම විපාකවලින් මිදීමට හෝ යම්තාක් දුරක සහනයක් එම පුද්ගලයාට ලබා දීමට හඳහනේ කර්ම සටහන් පරීක්ෂාව මඟින් සිදු කළ හැකිය.

හඳහන් පරීක්ෂාවක් සිදු කිරීමෙන් පසු එය නැවත පරීක්ෂා කළ යුත්තේ කොපමණ කාලයකින්ද?

සාමාන්‍යයෙන් පැරණි මිනිසුන් තමාගේ හඳහන පරීක්ෂා කරන්නේ ජන්ම දිනයට පෙරයි. හඳහන පරීක්ෂාවෙන් ඔවුන් නව වසරේදී මුහුණදීමට සිදුවන අනතුරු ආපදා පිළිබඳ දැන ඒවාට අවශ්‍ය පිළියම් සිදු කෙරිණි. ඒ අනුව වසරකට පසු හදාරා නැවත පරීක්ෂා කිරීම යෝග්‍ය වේ. එහෙත් හදිසි ලෙඩ රෝග, හදිසි මංගල්‍යය කටයුත්තක්, කොටහළුවක් යෙදුණ විට හඳහන පරීක්ෂා කිරීම වඩාත් උචිත වේ. හඳහන් පරික්ෂාවේ දී දළ කේන්ද්‍ර සටහන භාව කේන්ද්‍ර සටහන හා ක්‍රිෂ්ණ මූර්ති ක්‍රමය ආදී ක්‍රම මඟින් පලාපල කථනය සිදු කරයි.

 

ඔබේ හෙට දවස කුමන අයුරකින් ගත වෙයි ද? අධ්‍යාපනය, රැකියාව, විවාහය, සෞඛ්‍ය ආදී වශයෙන් අනාගතය ගැන අනාවැකියක් දැනගන්න තරුණී හඳහන විශේෂාංගය හා එක්වන්න. ඒ සඳහා ඔබ කළ යුත්තේ පහත කූපනය පුරවා තරුණී - හඳහන, ලේක්හවුස්, කොළඹ ලිපිනයට ඔබේ හඳහනේ පැහැදිලි පිටපතක් සමඟ ඔබට දැනගත යුතු කාරණාව අප වෙත යොමු කිරීමයි.

 

උපදෙස්
ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී
බිසර චානක්‍ය