වර්ෂ 2025 ක්වූ May 19 වැනිදා Monday
ලස්සන වෙලා ජීවිතය දිනමු

ජීවත්වීම කලාවක්. ජීවත්වීමේ කලාව හොඳින් වටහා ගත්විට ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. සෑම දෙයකටම අරමුණක් තියෙනවා. අපි අපේ ජීවිතය ඉන්නවට වඩා හොඳ විදිහට පවත්වාගෙන යන්න කැමැතියි. තෘප්තිමත්ව, හරවත්ව, සුපිරි විදිහට, ආර්ථිකව, සමාජයීයව ආදී සෑම අංශයකින්ම උසස් තත්ත්වක ජීවිතයක් ගතකරන්න කැමැතියි.
ඔබගේත් මගේත් සියලුම මනුෂ්‍ය වර්ගයාගේ ජීවත් වීමේ එකම අරමුණ පූර්ණ මනුෂ්‍යයකු වීමයි. නමුත් එය ළඟා කරගන්න එක ඒතරම් ලේසි දෙයක් වෙන්නෙ නැහැ. අපි හැමෝම හිතන්නෙ ඒක අමාරු දෙයක් විදිහට. “ඉන්න විදිහට ඉමු” මේ තියෙන දේවල් මදෑ”, අපිත් ඉතිං වැදගත් මිනිස්සුනේ,” “මට ගෙවල් දොරවල් සල්ලි බාගෙ තියෙන්නේ..” අපි මෙහෙම හිතලා අපේ සිත් හදාගන්නවා. ආපස්සට හැරිලා බැලුවාම ඇත්තටම මේ කිසිම දෙයක් අපිට නෑ. අපි ඉන්නන් වාලේ ඔහේ ඉඳලා.
මනුෂ්‍යයකු වශයෙන් පූර්ණත්වයට ළඟාවීමට උත්සාහයක් ගන්නේ නැත්නම් ඔබගේ ජීවිතයම අසාර්ථක වනු ඇත. එසේ නම් මේ මොහොතෙම සිතන්න ඔබව ධනාත්මකව වෙනස් කරගන්න. සාර්ථක වීම අමාරුයි කියන සිතුවිල්ලෙන් මිදෙන්න. ඔබේ සිතේ තිබෙන ඍණ ආකල්ප ඉවත්කර ගන්න. ඒ වෙනුවට සිත පුරාම ධනාත්මක සිතුවිලි පතුරවන්න. එවිට ඔබ ආකල්පමය වශයෙන් වෙනස් වෙනවා. ඒ වෙනසත් සමඟම ඔබ සිතන පතන ආකාරය වගේම කරන කියන දේවල්වලත් වෙනසක් ඇතිවෙන්න පටන් ගන්නවා. එවිට ඔබට ලැබෙන ප්‍රතිඵලය ද වෙනස් වෙනවා. එම නිසා ධනාත්මක සිතුවිලි පතුරනවා වගේම ජීවිතය සාර්ථක කරගන්නවා කියන අරමුණටත් ඔබට යන්න වෙනවා. වැඩ කල් නොදමා දවස කළමනාකරණය කරගෙන උද්යෝගයකින් වැඩ කළ යුතු වෙනවා.
ඔබ කොතරම් දේවල් ඉගෙන ගත්තත්, දේශනවලට සහභාගී වුණත්, පොත්පත් කියෙව්වත් ඔබට ප්‍රතිඵල ළඟා කරගන්න බැරි නම් එය අසාර්ථකයි.
මෙන්න මේ නිසා තරුණී පුවත්පත තුළින් ඔබට නව ලිපි මාලාවක් ගෙන එනවා. ඔබේ අරමුණ කුමක් වුවත් ඔබට සාර්ථකව එම අරමුණ කරා ළඟාවීමට. මෙමඟින් ඔබට ඔබේ ජීවිතය වෙනස්වන ආකාරය අත් විඳින්න පුළුවන් වෙනවා. වැදගත් කෙනකු වීමට ඇති ආශාව එහෙමත් නැත්නම් කැපී පෙනීමේ ආශාව අපි හැමෝටම තිබෙන දෙයක්. අන් අයගේ සැලකිල්ල, උසස් තනතුරු දැරීම, ගෞරවය, පිළිගැනීම, ආචාරශීලී කාන්තාවක් ලෙස ඉහළ සමාජයේ තැනක් හිමිවෙනවා නම් කාන්තාවන් සියල්ලම ඉතාමත් ආඩම්බරයට පත්වෙනවා. ආත්ම අභිමානයක්, ආත්ම විශ්වාසයක් මේ තුළින් ගොඩනඟා ගන්න පුළුවන් වෙනවා. මෙලෙස තමන්ට අවශ්‍ය දේවල් ළංකර ගන්න තමන් තුළ විශේෂ ආකර්ෂණීය තත්ත්වයක් ඇතිකර ගත යුතු වෙනවා. සාර්ථකත්වය අපේක්ෂා කරන සියලුම ළඳුන් මේ ආකර්ෂණීය ශක්තිය වැඩි දියුණු කරගත යුතු වෙනවා.
ලබන සතියට
දීප්ති පෙරේරා
රූපලාවණ්‍ය සහ පෞරුෂ සංවර්ධන උපදේශිකා
2019/11/06 තරුණි බලන්න