බිත්තරයකින් ලැබෙන පෝෂණය

පෙබරවාරි 26, 2020

ලෝ කයක් ඇතුළේ ලෝකයක් වගේ පෙනෙන කෑම පිඟානෙ නොවරදින බිත්තරය පෝෂණ වේදීන්ගේ සිත් දිනා ගත් ආහාරයකි. ආහාරයට ගැනීමට පෝෂ්‍යජනක කිසිවක්ම නැත්නම් අඩු වශයෙන් බිත්තරයක්වත් කෑමට ගන්නා ලෙසට උපදෙස් දෙන්නේ ඒ නිසාය.

අමෙරිකානු කෘෂිකාර්මික දෙපාර්තමේන්තුවට අනුව එක් විශාල කිකිළි බිත්තරයක කැලරි 72ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 6ක්, මේද එකතුව ග්‍රෑම් 5ක්, සන්තෘප්ත මේදය ග්‍රෑම් 1.5 ක් ( දෛනික අවශ්‍යතාවෙන් 8% ), පොටෑසියම් මිලිග්‍රෑම් 69 ක් ( දෛනික අවශ්‍යතාවෙන් 1% ), මැග්නීසියම් මිලිග්‍රෑම් 6 ක් ( දෛනික අවශ්‍යතාවෙන් 1% ), කැලිසියම් මිලිග්‍රෑම් 28 ක්, යකඩ මිලිග්‍රෑම් 0.8 ක් ( දෛනික අවශ්‍යතාවෙන් 3% ), පොස්පරස් මිලිග්‍රෑම් 99 ක්, විටමින් බී 6 මිලිග්‍රෑම් 0.08 ක් ( දෛනික අවශ්‍යතාවෙන් 5% ), විටමින් බී 12 මයික්‍රොග්‍රෑම් 0.45 ක් ( දෛනික අවශ්‍යතාවෙන් 10% ), විටමින් ‘ ඒ ’ අන්තර්ජාතික ඒකක 270, විටමින් ‘ ඩී ‘ අන්තර්ජාතික ඒකක 41 ( දෛනික අවශ්‍යතාවෙන් 11% ) අඩංගුයි. මේ අනුව බිත්තරයක් යනු එක් ආහාර වේලක් බඳුයි. එවැනි ආහාර ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු ගණනකි.

ආයුර්වේදයට අනුව මෙහි වාතය, කප ( සෙම ), පිත සමනය කිරීමේ ගුණය පවතියි. බිත්තර කහමදයෙන් පිත සහ සෙම වැඩිවන අතර වාතය අඩුවෙයි. විශේෂයෙන් වාත දෝෂය ඇති අයට ආහාර ගැනීමට අමතක වන අතර ඔවුනට උදෑසන ආහාරයට බිත්තර කදිම ආහාරයකි. පෝෂ්‍ය ගුණයෙන් ඉහළ කිකිළි බිත්තර රෝගයකින් සුවය ලබන අයට ශක්තිය ලබා දෙයි. කෙසේ වුවත් මෙය ආයුර්වේදයේ නිර්දේශ කරන ආහාරයක් නොවෙයි. ඊට හේතුව මෙවැනි ආහාර පමණ ඉක්මවා ගැනීමෙන් කෙනකු තරබාරු වීමට ඉඩ තිබීමයි.

බිත්තර, කිරි හෝ චීස් වැනි ආහාර සමඟ මිශ්‍ර කර ආහාරයට නොගත යුතුය. බිත්තර ජීර්ණය වීම පහසු වීමට ඊට කොත්තමල්ලි, පාස්ලි, සූදුරු, ලීක්ස් එක් කරන්න.

බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව බිත්තර මඟින් මොළයේ සෞඛ්‍ය ඉහළ නංවයි. හොඳ මතක ශක්තියකට, මානසිකත්වයකට, මාංසපේශි පාලනයට බිත්තර අවශ්‍ය වෙයි. බී විටමින් පවුලට අයත් කෝලින් හෘද රෝග වළක්වන බවත් මොළයේ ක්‍රියාකාරිත්වය අඩු කරන මූලික තත්ත්වයක් වන ඩිමෙන්ෂියා වළක්වන බවත් අද කාලයේ වැඩි දෙනකුට වැලඳෙන අක්මාවේ මේදය වළක්වන බවත් සොයාගෙන තිබේ. බිත්තර, කෝලින් ලබාගත හැකි හොඳම ආහාරයකි. ගැබිනි කාලයේ කලලයේ මොළයේ වර්ධනයටත් උපත් ආබාධ වැළැක්වීම සඳහාත් කෝලින් අඩංගු ආහාර ගත යුතුය. ෆෝලික් අම්ලය සේම මෙය ද කලලයේ ස්නායු රජ්ජුවේ ආබාධ වළක්වයි.

රතු සෛල නිපදවීමට, ස්නායු ක්‍රියාකාරිත්වයට බී 12 විටමිනය නැතිවම බැරිය. මෙය අඩංගු වන්නේ ස්වාභාවික සත්ව ආහාරවලය. නිර්මාංස අයට බී 12 ලබාගත හැකි හොඳම මාර්ගය වන්නේ බිත්තර ආහාරයට ගැනීමය.

කිකිළි බිත්තරවල ප්‍රෝටීන් බහුල නිසා දිගු වේලාවක් කුස පිරී ඇති බවක් හැඟෙයි. ඒ නිසා බර අඩු කර ගැනීමට වෙර දරන අයට මස්වලට වඩා හොඳ විකල්ප ආහාරයකි.

ඇසේ සුවසෙත රැකීමට බිත්තරවල අඩංගු කැරොටනයිඩ විශේෂය උපකාරී වෙයි. මෙහි ඇති වටිනාම විටමිනයක් වන්නේ විටමින් ‘ ඩී ‘ ය. විටමින් ඩී කැල්සියම් උරා ගැනීමට ආධාර වී අස්ථිවල නීරෝගිභාවය සුරකියි.

දවසකට බිත්තරයක් ආහාරයට ගැනීමෙන් අපේ ශරීර සෞඛ්‍යයට කිසිදු තර්ජනයක් එල්ල වන්නේ නැත.

2020/02/26 තරුණි බලන්න