නත්තල් දවසේ මේසය සරසන හරි ලස්සන කැන්ඩි කේන්

නත්තල් සැරසිලි කලින්ම හදාගන්න
නොවැම්බර් 28, 2022

 

නත්තල ගැන කතා කරන විට රසවත් ආහාරවලින් පිරි නත්තල් කෑම මේසය අමතක කරන්නම බැහැ. ඒ නිසාමයි නත්තල් කෑම මේසයත් විශේෂ සැරසිල්ලකින් අලංකාර කර හැඩ කරන්නයි හැමෝම කැමැතියි. කැන්ඩි කේන් එකක් වැනි පුංචි සැරසිල්ලකින් මේ නත්තල් මේසය ඔබට ඉතා පහසුවෙන් සරසා කර හැකියි. නත්තල් මේසයට පමණක් නොව නත්තල් බිත්ති සැරසිල්ලක් විදිහටත් කැන්ඩි කේන් යොදා ගන්න පුළුවන්.

 

අවශ්‍ය ද්‍රව්‍ය

සුදු පොප්ලීන් රෙදි කොටසක්

නත්තල සඳහා ගැළපෙන වර්ණ රිබන්

පැඩිං

ග්ලූ ගන් එකක්

නිර්මාණය කර ගන්නා ආකාරය

පළමුව පහත දී ඇති පතරොම සකස් කර ගන්න. පොප්ලීන් හෝ වෙනයම් රෙදි කොටසක් ගෙන එම රෙද්ද මත පතරොම තබා ඇඳ, කොටස් දෙකක් කපා ගන්න. කපාගත් කොටස් දෙක එකට තබා මැෂින් එකෙන් වටේට මසා ගන්න. මසා ගැනීමේදී පැඩිං පුරවා ගැනීම සඳහා ඉඩක් තබාගන්න. පසුව ඉඩ තබා ගත් තැනින් පැඩිං හොඳින් තද වන සේ පුරවා එම හිඩැස ඉඳිකටුවකින් මසා නිම කරගන්න.

 

තමන් කැමැති පරිදි එක් රිබන් වර්ගයක් ගෙන පින්තූරයේ පෙනෙන ආකාරයට වටේට ඔතාගන්න. ඔතා ගැනීමේදී තැනින් තැනට ගම් යොදා ඇලවෙන සේ ඔතා ගැනීම කරගන්න. නැවතත් වර්ණ රිබන් වර්ග කිහිපයක් ගෙන බෝ කිහිපයක් සාදා එකට තබා මලක් ආකාරයට සකසා ගන්න. පසුව එය ග්ලූ ගන් එක ආධාරයෙන් ස්ටික් එකේ මැදට වනසේ පින්තූරයේ පෙන්වා ඇති පරිදි තබා අලවා ගන්න. මෙය බිත්ති සැරසිල්ලක් හෝ දොර සැරසිල්ලක් ලෙස එල්ලා ගැනීමට අවශ්‍ය නම් උඩින් කෝඩ් නූල් කොටසක් තබා පිටුපසින් අලවා ගන්න. මෙය දොර සැරසිල්ලක් ලෙසත් යොදා ගත හැකියි.

 

උපදෙස් -

මහරගම ප්‍රාදේශීය ලේකම්

කාර්යාලයේ බාහිර උපදේශිකා

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

චූලනී ජයසිංහ

 

ඡායාරූප - ශාන් රූපස්සර