රවි ප්‍රබලයි - ඔබව ඉදිරියටම ගෙන යයි

පෙබරවාරි 10, 2025

 

ඔබගේ අත්ලේ රේඛා පිහිටීම ඔබගේ ජීවිතයට කොතරම් දුරට බලපානවාද යන වග අපි පසුගිය සති කිහිපය පුරාම කතාබහ කළෙමු. ඒ අනුව අද අප කතා බහ කරන්නට සූදානම් කරන්නේ ඔබව වේගයෙන් ඉදිරියට ගෙන යන රවි රේඛාව පිළිබඳවයි.

 

අත්ල මැදින් ආරම්භ වී වෙදැඟිල්ල මුල පිහිටි රවි මණ්ඩලය දක්වා විහිද යන රේඛාව රවි රේඛාව හෙවත් ධන රේඛාව ලෙස හඳුන්වයි.

 

ඔබේ අත්ල මත පිහිටි රවි රේඛාව මඟින් දියුණුව, කීර්තිය, අධ්‍යාපනය, ගෞරවය, ජයග්‍රහණය, ආකර්ෂණය, ගුප්ත විද්‍යා දැනුම, ධෛර්යය යනාදී ගුණාංගයන් පිළිබඳ කරුණු ප්‍රකට කෙරේ. එහෙත් මෙම රේඛාව සෑම අත්ලකම පිහිටන්නේ නැත.

 

හස්ත රේඛා විද්‍යාවට අනුව රවි රේඛාව අත්ලක නොපිහිටියේ නම් ඔහුගේ දියුණුව සීමා සහිත වන බව සඳහන් වේ. උසස් ලෙස දියුණුවට පත් බොහෝ දෙනකුගේ අතෙහි රවි රේඛාව පැහැදිලිව පිහිටා ඇති බව නොරහසකි.

 

මේ අනුව යම් හෙයකින් රවි රේඛාවක් නොපිහිටීම අශුභ ලකුණක් නොවේ. එය පැවතීම වඩා ශුභ වුවද අත්ලේ ඇති අනෙක් සුවිශේෂ පිහිටීම නිසා ජයග්‍රහණ හිමිවීම එයින් නොවැළැකේ. මෙම රේඛාව පැහැදිලිව පිහිටි විට ධනයෙන් ඥානයෙන් ආඪ වූ ගෞරවනීය ජීවිතයක් හිමිකර ගැනීමට ඔබට පුළුවනි. උසස් තනතුරු හිමි කර ගැනීමට ද ඇතැම් විට ජන නායකයෙක් බවට පත්වීමටද බොහෝ සෙයින් ඉඩ ඇත.

 

රවි රේඛාශීිර්ෂ රේඛාවෙන් ආරම්භ වුවහොත් ශිල්ප ශාස්ත්‍ර ඥානය හේතු කොට මැදි වයසේ දී දියුණුවට පත්වේ. හෘද රේඛාවෙන් ඇරඹුණහොත් මහලු වියේදී සැප සම්පත් හිමිවේ. රවි රේඛාව දෛව රේඛාවෙන් ඇරඹුණහොත් අත්ල හිමියාගේ ජීවන මාර්ගය සමඟ සාපේක්ෂව උසස් දියුණුවක් බලාපොරොත්තු විය හැකියි.

 

යම් ස්ත්‍රියකගේ අත්ලේ රවි රේඛාව චන්ද්‍ර මණ්ඩලයෙන් ඇරඹුණහොත් පුරුෂ පක්‍ෂයෙන් ලබන ආධාර උපකාර මත දියුණුව සැලසේ. පුරුෂයෙකුගේ චන්ද්‍ර මණ්ඩලයෙන් රවි රේඛාව ඇරඹුණහොත් ස්ත්‍රී පක්‍ෂයෙන් ආධාර උපකාර ලබා දියුණුවට පත්විය හැකියි.

 

යමෙකුගේ රවි රේඛාව ඉහළින් කුජ මණ්ඩලය හෙවත් බුද මණ්ඩලයත් චන්ද්‍ර මණ්ඩලයත් අතර ප්‍රදේශයෙන් ආරම්භ වූ විට හෙතෙම අතිශයින් නිර්භීත යුධ උපාංගයෙහි දක්ෂ අයෙක් වේ. කීර්තියත් ධනයත් නිරායාසයෙන් ගලා එයි. ආරක්ෂක අංශයෙහි ඉහළ නිලධාරී තනතුරු ඇති බොහෝ දෙනෙකුට මෙම ලක්ෂණය පැහැදිලිව පිහිටා ඇත. එහෙත් කුජ තලාව හෙවත් අත්ලේ මැද කොටසින් රවි රේඛාව ආරම්භ වුවහොත් ඔහුට එම තත්ත්වය ලබා ගැනීමට බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇත.

 

අත්ලේ මණි බන්ධ රේඛා අසලින් ඇරඹෙන රවි රේඛාව ශීර්ෂ රේඛාවත්, හෘද රේඛාවත් අතර බිඳී ගියේ නම් හදිසි විපත්වලට මුහුණ දීමට ඔහුට සිදුවෙනු ඇත. ධෛර්යය හීන වන අතර, දරන බොහෝ උත්සාහයන් නිෂ්ඵල වෙයි.

 

යම් කිසිවකුගේ රවි රේඛාව කොතැනකදී හෝ බිඳී හෝ මැකී ගියහොත් එම වයස් සීමාවේදී ඔහුගේ ධනයත් බලයත් කීර්තියත් සිඳී ගොස් දුක්ඛිත තත්ත්වයකට පත්වනු ඇත.

රවි රේඛාව රවි මණ්ඩලයෙන් කෙළවර වූයේ නම් උපරිම ඵල හිමි වනු ඇත. ගෞරවනීය තත්ත්වයක් නිරායාසයෙන් හිමිවන අතර, කෙසේ හෝ ධනයෙන් බලයෙන් ආඪ්‍ය වෙයි. ශනි මණ්ඩලයේදී කෙළවර වීම අලස බවට හේතුවක් වන අතර, බුද මණ්ඩලයෙන් කෙළවර වීම ආත්මාර්ථකාමී වීමේ සලකුණක්.

 

කෙනෙකුගේ රවි රේඛාවේ මත මතුවන දූපත් සටහන එම රේඛාවේ බලය බිඳහෙළීමට සමත් වේ. ශුභ ඵලවලට හානි පැමිණෙයි. හරස් ඉදිරි ඉරිවලින් කැපී යාමද බාධක ලක්ෂණයකි. එහෙත් රවි රේඛාව ප්‍රබලව පිහිටියේ නම්, එම බාධක බිඳ හෙළමින් ඉදිරියට යාමට ශක්තියත් ලබා දෙයි.

 

එසේම චතුරස්‍ර, භගිනි රේඛා, ත්‍රිකෝණ ආදියෙන් රේඛාවේ බලය ශක්තිමත් කෙරෙන අතර, නිරන්තරයෙන්ම එවැනි සලකුණු නිසා සුබ පල වැඩි වන්නේය.

 

 ‍ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ගුප්ත විද්‍යා ආචාරිනි

නිරංගා බාලසූරිය

 

 

[email protected]