විවාහ රේඛාව හෙවත් එක්වීමේ රේඛාව

පෙබරවාරි 24, 2025

 

යොවුන් වියේ පසුවන තරුණ තරුණියන්ගේ සොඳුරුතම පැතුම විවාහයයි. හස්ත රේඛා ශාස්ත්‍රයේදී විවාහයටත් ප්‍රමුඛස්ථානයක් ලැබෙයි.

 

එබැවින් අත්ල අයිනේ සුළඟිල්ලේ මුලටත් හෘදයේ රේඛාවටත් අතර පිටි අල්ලේ සිට කැරකී පැමිණි බුධ මණ්ඩලය දෙසට විහිද යන රේඛාවලින් අත්ල හිමියාගේ ප්‍රේමය විවාහය අනියම් සබඳතා යනාදිය ප්‍රකට වෙයි. ඇතැම් අත්ලක මෙම රේඛා දක්නට නැතත් රේඛා කීපයක්ම දක්නට ඇති අත් ද වේ.

 

යමකුගේ අත්ලෙහි මෙම රේඛාව පිහිටා නැතිනම් ඔහුට ඇයට ප්‍රේම බන්ධන නොමැති බැව් කියැවෙයි. එසේම මෙම රේඛා කීපයක් ඇතොත් හෙතෙම දුටු දුටුවන් කෙරේ ඇලීම් ඇති කරගන්නා ස්වභාවයක් ප්‍රකට කරයි. රේඛාවල ගැඹුර අනුව ප්‍රේම සබඳතාවයක් සහ ඒවායේ ස්ථීරභාවය තීරණය කළ හැකි වේ. රේඛා කිහිපයක් ගැඹුරු ලෙස සටහන් වී නම් සබඳතා කීපයක් ගැන කියැවේ.

 

අඹු සැමි භේද තරුවක් සේ බෙදුණු විවාහ රේඛාව අඹු සැමි භේද ඇති කරයි. රවි රේඛාව මෙම රේඛාවෙන් කැපී ගියහොත් විවාහය නිසා ධනයට හා ගෞරවයට හානි සිදු වෙයි. විවාහ රේඛාවේ අග කෙඳි හෝ බෙදී ගියහොත් විවාහයෙන් පසු සැමියාට හෝ බිරියට රෝග පීඩා ඇතිවේ.

 

බිඳීම විවාහ රේඛාවට ළංව පිහිටි අනෙක් රේඛාවකින් ජීවන රේඛාව ඡේදනය වීම විවාහය බිඳී යාමට හේතු විය හැකියි. මෙම රේඛාවේ දූපත් සටහනක් වේ නම් විවාහයට පෙර නොමනා හැසිරීම්වල යෙදෙන කෙනෙක් බැව් කියැවේ. නැතහොත් සැමියාගේ පෙර පැවති නොමනා හැසිරීම් නිසා ප්‍රශ්න මතුවී වෙන් වන්නට සිදු වේ.

සිකුරු මණ්ඩලයේ මහපට ඇඟිල්ල මුලින් ඇරඹී ජීවන රේඛාව දෙසට විහිද යන රේඛාවලින් යමකුගේ පැවති ප්‍රේම බන්ධන හෙළිදරව් කෙරේ. විවාහ රේඛාව දෙකට බෙදී කැබැලි දෙකක් වශයෙන් පිහිටියේ නම් එක් විවාහයකින් වෙන් වී වෙනත් විවාහයක් සිදු කර ගනී. විවාහ රේඛාවේ කෙළවර තරු හෝ කුරුස ලකුණක් වී නම් පෙම් සබඳතාව හෝ විවාහය දබරයකින් කෙළවර වේ.

 

විවාහ රේඛාව හෘද රේඛාව දෙසට ආනත වීම මඟින් වැන්දඹු බව හෝ කනවැන්දුම් බව නිරූපණය කරයි. ඉතා ක්‍රමිකව හෘද රේඛාව දෙසට ආනත වීමෙන් අඹුව හෝ සැමියාගේ පවතින රෝග තත්ත්වයක් මරණය දක්වාම පවතී.

 

සිකුරු මණ්ඩලයේ සිට පැමිණෙන බලපෑම් රේඛාවක් මඟින් ජීවන ශීර්ෂ, හෘද සහ විවාහ රේඛාවන් කැපීම විවාහය සමඟ සම්බන්ධ වූ කරදර සහිතය. සාමාන්‍යයෙන් නෑදෑයන්ගේ බාධාවන් හේතු වේ. සුළඟිල්ලෙහි පාදස්ථානයේ සිට පැමිණෙන රේඛාවක් මඟින් විවාහ රේඛාව කැපීම, එක්වීමට බොහෝ විරුද්ධත්වයක් ඇතිවන බව පෙන්නුම් කෙරේ.

 

සුළඟිල්ලේ පාදස්ථානයේ සිට පහතට පැමිණෙන විවාහ රේඛාව ස්පර්ශ කරන සිරස් රේඛාව ළමයි විදහා දක්වයි. රේඛා ගණන වැඩිවන විට ළමයි ගණන ඊට සාපේක්ෂව වැඩි වෙයි. මෙහිදී පිරිමි දරුවන් දක්වන රේඛාව ඍජුව පිහිටන අතර ගැහැනු දරුවන් පෙන්වන රේඛා ඇලව පිහිටයි.

 

විවාහ රේඛාව මත කළු පැහැ ලපයක් පිහිටීම වැන්දඹු බව හෝ කනවැන්දුම් බව නිරූපණය කරයි. හෘද රේඛාව දෙසට ආනතව පිහිටීම, ආනතිය පටන් ගන්නා ස්ථානයේ කතිර සටහන පිහිටීම මෙම අත් හිමි පුද්ගලයා හා විවාහ වෙන පුද්ගලයා හදිසියේම මිය යයි. විවාහ රේඛාව අවසානයේ දූපත් සටහනක් පිහිටීම සමඟ මහපට ඇඟිල්ලේ දෙවැනි පුරුක් පිහිටි ස්ථානයට වන්නට තවත් දූපත් සටහනක් පිහිටීම ළඟම ඥාතියෙක් සමඟ විවාහය සිදු වන බවට අනාවැකියකි.

 

 ‍ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ගුප්ත විද්‍යා ආචාරිනි

නිරංගා බාලසූරිය
 

 

[email protected]