අලුතෙන් ඉදිකෙරෙන, නිවෙසේ, වැඩබිම ඩෙංගු තවානක් වෙන්න පුළුවන්

මැයි 22, 2019

මේ දිනවල ඇරඹී තිබෙන නිරිත දිග මෝසම් වැස්සත් සමඟම කලක් යටපත් වී තිබුණු ඩෙංගු රෝගය යළිත් හිස ඔසවන්නට පටන් අරන්.

පසුගිය 2018 වසර අග වන විට සැලකිය යුතු තරම් මර්දනය වී තිබුණු ඩෙංගු වසංගතය වැස්සත් සමඟම ක්‍රම ක්‍රමයෙන් පැතිර යන බව සෞඛ්‍යය අමාත්‍යංශය මඟින් කරන ලද සමීක්ෂණවලින් හෙළිවී තිබෙනවා.

2019 වසරේ ගතවූ මාස හතර කළ පමණක් ඩෙංගු රෝගයට ගොදුරු වූ පුද්ගලයන් 23 දෙනකුට ජීවිත අහිමි වෙලා. ඩෙංගු රෝගයට ගොදුරු වූවන් අතරින් වැඩි දෙනකුට රෝගය බෝ වෙලා තිබෙන්නේ ඉදිකිරීම් ආශ්‍රිත වැඩබිම්වල තිබුණු ඩෙංගු මදුරු තවාන්වල සිටි මදුරුවන් දෂ්ට කිරීමෙන් බවත් හෙළිවී තිබෙනවා.

බෝම්බ අනතුර වැනි සිද්ධීන් සමඟ ජනතාව තුළ ඩෙංගු රෝගය ගැන තිබූ බිය සහ අවධානය ගිලිහී ගිහින්. පරිසරයේ පිරිසුදු බව රැකගැනීමට යෙදූ අවධානය ගිලිහී යාමෙන් මෙලෙස යළිත් ඩෙංගු රෝගය හිස ඔසවන බවයි සෞඛ්‍යය බලධාරීන් පවසන්නේ.

ඩෙංගු වසංගතයත් හරියටම ත්‍රස්තවාදී ප්‍රහාරයක් වගෙයි. ඒ කියන්නේ ශීඝ්‍රයෙන් ක්‍රියාත්මක වෙලා පැතිරිලා දරුණු ලෙස ප්‍රහාර එල්ල කරන නිසයි. එහෙම කියන්නේ සෞඛ්‍යය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතායි. වෛද්‍යතුමා එහෙම කීවේ බෝම්බ බියත් සමඟම ජනතාව කළ ඩෙංගු මර්දනය සඳහා පැවැති උනන්දුව අඩුවෙලා වැස්සත් එක්කම ආයෙමත් ඩෙංගු වසංගතයක් අවදානමක් ඇතිවෙන්නට ඉදිරි කාලෙදි ඉඩකඩ තිබෙන නිසයි. මැයි මාසයෙන් ඇරැඹෙන නිරිතදිග මෝසම දැන් පටන් අරන්. කඩින් කඩ වැස්සත් තැනින් තැන ජලය එක්රැස් වෙන තැන් බහුල නිසා ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ද වැඩි වී තිබෙනවා. ජනතාවගේ අවධානය වෙනතක යොමුවීමෙන් පසුගිය වසරේ සෑහෙන දුරට පාලනය වී තිබුණු ඩෙංගු රෝගය රටපුරා යළි හිස ඔසවන්නට හේතුවක් වී ඇතැයිද සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසයි.

2018 වසරේ ඩෙංගු රෝගයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 58 ක් වූ අතර 2019 වසරේ ගතවූ මුල් මාස හතර තුළ පමණක් මිය ගිය ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 23 ක් බවත් ඒ අනුව නොසලකා හැරියහොත් ඉදිරියේදී මේ තත්ත්වය වඩාත් බරපතළ විය හැකි බවත් ඩෙංගු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා පවසනවා. මේ වන විටත් ඩෙංගු රෝගීන් වැඩිපුරම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්. කොළඹ මහ නගර සභා සීමාවට අයත් ප්‍රදේශවල කුඩා ඉඩ ප්‍රමාණයක් තුළ වැඩි ජනගහනයක් පදිංචිව සිටීමත් මේ තත්ත්වයට හේතු තිබෙනවා. මීට අමතරව ගම්පහ, ගාල්ල, යාපනය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් ඩෙංගු රෝගීන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

වර්තමානය වන විට ඩෙංගු මදුරුවන් වැඩිපුරම බෝවන්නේ ඉදිකිරීම් වැඩබිම්වල බව වෛද්‍ය තිසේරා පවසනවා. මහා පරිමාණයේ ඉදිකිරීම් වැඩබිම්වල කොන්ක්‍රීට් තට්ටු මත බදාම අනන තාප්පවල, අත්හැර දමන ලද පීප්ප හා වතුර ටැංකිවල බහුල වශයෙන්ම ඩෙංගු තවාන් දක්නට ලැබෙන බව කීට විද්‍යා සමීක්ෂණවලින් සොයාගෙන තිබෙනවා. මේ වන විට ගෘහාශි‍්‍රත මදුරු තවාන් බොහෝ දුරට අඩු වී ඇති බවත් වෛද්‍ය තිසේරා පවසනවා.

ඩෙංගු අවදානම ගැන දැනුවත්ව සිටින ජනතාව දැන් පවසන්නේ නිවෙස් ඇතුළත මෙන්ම පිටතත්, ගෙවත්ත හා අවට පරිසරයන් පිරිසුදුව තබාගන්නට උනන්දු වෙන නිසා නිවාස සහ පෞද්ගලික පරිශ්‍රවල ඩෙංගු මදුරුවන් බෝවීම බොහෝ දුරට පාලනය වී ඇතැයිද වෛද්‍යවරයා පවසනවා. පාසල් හා වෙනත් අධ්‍යාපනික මධ්‍යස්ථාන බොහෝ විට නිවාඩුවට පෙර මෙන්ම පාසල් ආරම්භයට පෙරත් පිරිසුදු කරනු ලබනවා. පාසල් ශිෂ්‍ය ප්‍රජාව, ගුරුවරුන්, මාපියන් මෙන්ම ආදි ශිෂ්‍යයනුත් දැන් තමන්ගේ පාසල “ඩෙංගු අවධානයෙන් තොර” කලාපයක් බවට පත්කරගන්නට බොහෝ සෙයින් උනන්දු වන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විමල් ගුණරත්න මහතා පවසනවා. ඔබ ඔබේ දරුවන්ට ආදරෙයි නම් ඔබේ දරුවාගේ පාසල පිරිසුදුව තබාගන්නට ගුරු මණ්ඩලයට සහය වී පාසල ඩෙංගු අවදානමෙන් මුදා ගන්නා ලෙස ඒ මහතා මාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෑත භාගයේ ඩෙංගු රෝගයට ගොදුරු වූවන්ගෙන් 20-25% ක් පමණ පාසල් දරුවන් බව ඔබ දන්නවා ද? එබැවින් ඔබේ දරුවාගේ සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කරගන්න. දරුවාගේ පාසලත් පිරිසුදු කරදෙන්නට ඔබේ වටිනා කාලයෙන් ටිකක් වෙන් කරන්න මැලි නොවන්න.

මෑත කාලයේ ඩෙංගු රෝගයට ගොදුරු වන්නන්ගෙන් 50%ක්ම වයස අවුරුදු 20-50 අතර වයස් කාණ්ඩවල පසුවන්නන් බව හඳුනාගෙන තිබෙනවා. මේ පිරිස රටේ ශ්‍රම බලකායට අයත් තරුණ පිරිසයි. ඔවුන් අතරින් වැඩිපුර සේවය කරන දුර බැහැර ගම්වලින් නගරයට පැමිණෙන තරුණ පිරිස බවත් හෙළි වී තිබෙනවා. එහෙයින් වැඩබිම්වල වැඩ කරන පිරිස් ඩෙංගු මදුරුවන් දෂ්ටනයෙන් වළකින්නට ගතහැකි ආරක්ෂක පියවර සියල්ලක්ම ගැනීමට වගබලාගත යුතු බවත් වෛද්‍ය තිසේරා පවසනවා. ඒ සඳහා අනුගමනය කළයුතු ක්‍රියා මාර්ග ගැන ඔහු මෙලෙස සඳහන් කරනවා.

මදුරුවන් බෝ වන ජලය එක් රැස්වන සියලුම ස්ථානවල ජලය ගලා බැස යන පරිදි කටයුතු කළ යුතුයි. ජලය රැඳෙන ඉතාම කුඩා බඳුන් මෙන්ම ජලය රැස් කරන ටැංකි, ඉදිකිරීම් වැඩබිම්, කොන්ක්‍රීට් තට්ටු වැහිපිහිලි ටයර් මෙන්ම ඉටි රෙදි වැනි දේද ජලය රහිතව වියළිව තබාගැනීම වැදගත්.

මදුරුවන් ගැවසෙන උදෑසන මෙන්ම සවස් කාලයේදීද රාත්‍රියේදී ද මදුරු විකර්ෂණ ආලේප අත්, පා වල ගැල්වීම මෙන්ම හොඳින් සිරුර වැසෙන සේ ඇඳුම් ඇඳීම

දිවා කාලයේදී ද රාත්‍රියේදී ද මදුරු දැල් භාවිතය

ඉදිකිරීම් බිම් සඳහා ද ජල ටැංකි හෝ ජලය එක්රැස් වන ස්ථානවලට රජයේ අනුමැතිය ලත් කීට නාශක වර්ග යෙදීම

අවම වශයෙන් සතියකට දවසක විනාඩි 30 ක්වත් නිවෙස ගෙවත්ත හා අවට පරිසරය පිරිසුදු කිරීම සඳහා යොදවන්න.

 

2019/05/22 තරුණි බලන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.