නිවෙස හැඩ කරන්න ටවල් සිමෙන්ති බඳුන්

නොවැම්බර් 18, 2020

සුන්දර නිවහනක සිහිනය දකින ඔබටයි මේ චමත්කාර නිර්මාණ පෙළ. කැතට, අපිළිවෙළට තියෙන ඕනෙම කුඩා ඉඩක් ලස්සන කරන්න නිර්මාණශීලී අදහස් ඇති ඔබට පුළුවනි. එතරම් පෙනුමට, කලඑළියට නැති ගෘහයක් වුණත් ලස්සන ප්‍රියමනාප නිවෙසක් කරන්න ගෘහණියගේ දෑතට හැකියි. බලන්න, මෙහි ඇති නිර්මාණ දෙස.

ඒවා නිවෙසක් ලස්සන කරන්න කදිමයි නේද? මේ දිනවල නිකම්ම නිවෙසට වී ඉන්න එකේ මෙවැනි දෙයක් කර සතුට වගේම ආදායමක් ද උපයා ගන්න.

පරණ වී, ඉරී ඉවත දමන අත් පිහ දමන ටවල්, කිචන් ටවල්, බාත් ටවල් ආදී ටවල්, වූල් ආදී ගෙතුම් ක්‍රම මඟින් ගෙතූ ටවල්, මෆ්ලර්, ටීපෝ කවර ආදිය මෙන්ම ගෝනි රෙදි, ඩෙනිම් හා අනෙකුත් රෙදි වර්ග ඔබට මේ සඳහා භාවිත කළ හැකියි. ඊට අමතරව අවශ්‍ය වන්නේ සුදු සිමෙන්ති හෝ සාමාන්‍ය, සිමෙන්ති, වතුර, ග්ලවුස් දෙකක්, හා වර්ණ වර්ගයි.

එමෙන්න්ම ඉවත දමන ප්ලාස්ටික් බෝතල්, රවුම් කෑන්, ගඩොල් ආදිය හැඩතල සැකසීමට අවශ්‍ය වන නිසා ඒවා ද ළංකර ගන්න.

ඔබ සකසන බඳුනේ මල් සිටවනවා නම් පළමුව රෙදි කොටසේ හරි මැදින් රවුමක් කතුරෙන් කපාගන්න. දැන් බේසමට වතුර හා අවශ්‍ය ලෙස සිමෙන්ති දමා කලවම්කර තරමක් දියාරු ද්‍රාවණයක් සකසාගන්න. දැන් ටවල් එක ගෙන එම සිමෙන්ති ද්‍රාවණයේ ගිල්වා හැඩතලය සැකසෙන බඳුන උඩින් කපාගත් රවුම හරි මැදට සිටින සේ අතුරා ගන්න. රැලි අවශ්‍ය ලෙස අතින් සකසන්න. පින්තූර දෙස බැලීමෙන් එය ඔබට පැහැදිලි වේවි. එසේ සකසන බඳුන මත වෙනත් බඳුනක් තබනවා නම් හෝ ඒවා පෑන් පැන්සල් රඳවන ලෙස හෝ වෙනත් දෙයක් සඳහා යොදාගන්නේ නම් මැදින් රවුමක් කැපීම අවශ්‍ය නැත. කොටු හැඩයක් අවශ්‍ය නම් කොටු හැඩැති බඳුනක් උඩින් හෝ ගඩොල් අතුරා ඒ මත සිමෙන්ති පොඟවාගත රෙදි කොටස එළන්න. පසුව රෙදි කොටසේ රැලි අතින් සකසා ගෙන වියළෙන්න තබන්න. වියැළුණු පසු කැමැති ලෙස වර්ණ ස්ප්‍රේ කරගන්න. මේවා නිවෙස ලස්සන කරන්න කැමැති ලෙස භාවිත කළ හැකියි. පෑන් පැන්සල් රඳවන සඳහා ප්ලාස්ටික් බෝතල් අනෙක් පස හරවා ඒ මත කුඩා රෙදි කොටස් හෝ ටවල් අතුරා බඳුන් සකසා ගත හැකියි.

මෙහි දැක්වෙන පින්තූර දෙස බැලීමෙන් මෙම නිර්මාණ කරන ආකාරය වඩාත් හොඳීන් පැහැදිලි වේවි. ඔබ සිමෙන්තිවල අළු පැහැයට අකැමැති නම් වියැළුණු පසු කැමැති වර්ණ ස්ප්‍රේ කරගන්න. සුදු සිමෙන්තිවලින් සැකසූ ඒවා ද කැමැති නම් වර්ණ ගන්වා ගත හැකියි.

 

සටහන - පාලිකා දිල්රුක්ෂි

 

ඡායාරූප - අන්තර්ජාලයෙනි