අභියෝගවලට අභියෝග කර ජීවිතය ජයගත් මාතලේ ශ්‍යාමා

ජනවාරි 27, 2021

අපි දුප්පත් ගොවි පවුලක් ගෑනු දරුවොම පහයි

මොරගහකන්ද ජලාශයට ගෙවල් ගියා

හැමදේම මුල ඉඳලා ගොඩනගාගන්න වුණා

එදාවේල ගැටගහගන්න දුක්වින්දා

 

ජීවිතය දුෂ්කරය කියා මඟහැර යා නොහැකිය. ඔබත් මාත් ලැබූ මේ ජීවිතයේ ලාභ, අලාභ, සැප, දුක ඔස්සේ පියවරෙන් පියවර ඉදිරියට ගමන් කරයි. පවුලේ ආර්ථිකය යහපත් නොවූ විට ඔබේ සතුට පෑළදොරෙන් පැනදුවයි.

සැමියා හරි හම්බකරගෙන දෙන මුදල කළමනාකරණය කරමින් පවුල ගොඩනඟා ගැනීම බිරියගේ වගකීමයි. ඒ අතර පුංචි හෝ ස්වයං රැකියාවක් කර ඔහුට අත්වැලක් වීමට හැකිනම් ඔබේ වටිනාකම තවත් වැඩියි.

“එයා මොකුත් ජොබ් එකක් කරන්නෙ නැහැ. ගෙදර නිකං ඉන්නේ.”

“අපේ වයිෆ් ජොබ් කරන්න කැමැති නැහැ. මාත් ඉතිං මොකුත් කියන්නෙ නැහැ.”

“දැන් නම් දෙන්නම රස්සාවක් කරන්න ඕනෙ.”

“ගෙදර එක්කෙනත් රස්සාවකට ගියා නම් හොඳයි. ඒත් රස්සාවක් හොයාගන්න බැහැනෙ.”

ඇතැම් ස්වාමිපුරුෂයන්ගේ මේ කතාබස් ඔබටත් ඇසී ඇති බවට සැක නැහැ. ඔබ රැකියාවක් නොකර නිවෙසේ රැඳෙන ගෘහණියක් විය හැකියි. එහෙත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, ගෙදරදොරේ ඉවුම් පිහුම්, ශුද්ධ පවිත්‍රකිරීම්, රෙදි සේදීම් වගේ දහසකුත් රාජකාරි ඔබට ඇති. එහෙත් ඒවා වෘත්තියක් නොවන කල ඔබ ඇගයීමකට ලක් නොවෙයි. එබැවින් රැකියාවක් නොකර නිවෙසේ කටයුතු කරන ඔබ මුදලක් ඉපයිය හැකි පුංචි ස්වයං රැකියාවක හෝ නිරතවීම නුවණට හුරුයි.

කුඩා ව්‍යාපාර අංශය (ඉඡ්ච් එක) ඒ සඳහා නොමිලයේ උපදෙස් දෙනු ලැබේ. ස්වයං රැකියා ආරම්භ කරන්නේ කෙසේද? පවත්වාගෙන යාම, වෙළෙඳපොළ අවස්ථා, පුහුණු පාඨමාලා, ලියාපදිංචිය වැනි විවිධ අංශ යටතේ ඔවුන් ඔබට අත්වැල් සපයනු ලැබේ.

ඇය ශ්‍යාමා ඉනෝකා. අංක 3/71, ගම්මාන දේවාලදෙණිය, මාඔය, මාතලේ පදිංචි කාරිණියකි. අද ඇයට ශක්තියක් වී තිබෙනුයේ ද කුඩා ව්‍යාපාර අංශය හා එකතුවී ලබාගත් උපදෙස් සහ දැනුමයි.

ඇය ‘හෙළ ෆැෂන්’ නමින් නිමිඇඳුම්

 

නිෂ්පාදනය සිදුකරගෙන යන සැබෑම දිරිය කතකි.

“තමන්ගෙම කියලා යමක් කරනවා නම් කාටවත් අතනොපා ජීවත් වෙන්න පුළුවන්. මම ගොවි පවුලක උපන් අයෙක්. පවුලේ ගැහැනු දරුවොම පහයි. මම වැඩිමල්. බාල නංගිලාගේ වගකීමත් මට තිබුණා. කොහොමහරි මගේ පවුල තැනකට ගේනවා කියන හිතේ හයියෙන් තමයි මම වැඩ කළේ. මට හොඳට ඉගෙනගැනීමේ හැකියාව පිහිටියා. උසස් පෙළින් පසුව ආයුර්වේද වෛද්‍ය පාඨමාලාව හැදෑරීමට ලියාපදිංචි වුණේ ඒ නිසයි.

ඒත් දෛවය ඊට මං පෑදුවේ නැහැ. හිටිහැටියේම තාත්තා නැතිවුණා. එකම පිරිමියෙක්වත් නොවූ පවුලක ලොකු අක්කා වූ මට වගකීම වැඩිවුණා.

ආයුර්වේද වෛද්‍ය පාඨමාලාව සම්පූර්ණ කිරීමට ශක්තියක් ලැබුණේ නැහැ. ගෙදර වෙනුවෙන් යමක් කළ යුතුයි සිතා ගත්තා. ඒ අනුව අම්මාගේ පරණ මැෂිමෙන් ගවුම් මහන්න පටන් ගත්තා.

ඒ සඳහා හැදෑරීම් කළේ නැහැ. සහජ උරුමයෙන් යම් ඇඳුමක් දැක මැසීමේ හැකියාව පිහිටා තිබුණා.

කොහොමහරි මුලින්ම ලුංගියක් මැහුවා. හිතවත් නැන්දා කෙනෙක් ඒකට සුළු මුදලක් දුන්නා. ඒ මුදල මට මහමෙරක් තරම්. ඒ සහයෝගයත් සමඟ මම දිගටම විවිධ ඇඳුම් මෝස්තර මැහුවා. මගේ නංගි කෙනෙක් උපාධිධාරිණියක්.

මට මගේ විවාහය මඟහැරුණා. ඒත් නංගිලා ගෙවන පවුල් ජීවිත, දරුවො දිහා බලලා මා සතුටු වෙනවා.

අද වන විට බතික් මෝස්තර සිදුකර ඇඳුම් මැසීම සිදු කරනවා.

මුලින් වෙළෙඳපොළ සොයාගැනීම අපහසු වුණත් උත්සාහය අතනොහැරීමේ ප්‍රතිඵලය අද භුක්ති විඳීනවා.

මොරගහකන්ද ජලාශය හදන්න අපේ ගෙවල් අයින් කළා. එතැනදී මගේ ස්වයං රැකියාවට පාඩු වුණා. ඒත් ලාභ අලාභ දෙකටම මගේ හිත ශක්තිමත්. මා නැවත පදිංචි වූ මාතලේ ප්‍රදේශයේදී නැවතත් ව්‍යාපාරය ආරම්භ කළා.

තරුණී කියවන කාන්තා ඔබට මා පණිවුඩයක් දෙන්න කැමැතියි. අපි යමක් පටන්ගන්න විට බාධා පැමිණෙනවා. ඒවා තමයි අපිව ශක්තිමත් කරන්නේ. එබැවින් අභියෝගවලට අභියෝග කරන්න. එවිට ජයග්‍රහණය අත්විඳීය හැකියි.”

 

සටහන

අචිනි ලක්මාලි චන්ද්‍රසේකර