තමන්ටම නිර්මාණය කර ගත හැකි අලංකාර කරඬුවක් සහ ඔසුපැන් පාත්‍රයක්

මැයි 12, 2021

 

අසිරිමත් තෙමඟුල සිහි ගැන්වීම සඳහා බෞද්ධයන් වන අප විවිධ පිංකම් සිදුකරන්නෙමු. එහිදී සිල්සමාදන් වීම, දානාදී පිංකම් සිදුකිරීම වගේම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් විවිධ දේ පූජා කිරීමටත් ඔබ සැදී පැහැදී සිටින බව අපි දනිමු.

ඒවැනි වූ ඔබ වෙනුවෙන් ඉතාමත් අලංකාර කරඬුවක් සහ ඔසු පැන් පාත්‍රයක් නිර්මාණය කරගන්නා ආකාරය මෙලසින් ගෙන එන්නෙමු.

 

අවශ්‍ය ද්‍රව්‍ය

පිත්තල කරඬුවක්

ඔසුපැන් පාත්‍රයක්

ගම්

වර්ණය වෙනස් නොවන පබළු

පබළු වැල්

එකිනෙකට වෙනස් හැඩයේ පබළු

රන් පැහැති තීන්ත

 

නිර්මාණය කිරීම

පළමුව කරඬුන් වහන්සේ නිර්මාණය කරගනිමු. එහිදී මුලින්ම කරඬුන් වහන්සේ වටා රන් පැහැය ආලේපනය කර වේළෙන්නට තබන්න. එසේ රන් පැහැය ආලේපකර කරගනු ලබන්නේ කාලයත් සමඟ පිත්තල මළ බැඳීමට ලක්වන නිසාත් එසේ මළ බඳිනවිට අලවාගත් පබළුද දුර්වර්ණ වන නිසාත්ය. මෙම කරඬු නිර්මාණයේදී පළමුව පේසාවළල්ල මත ගම් ගා ඒ මත පබළු වැල අලවාගන්න. ඉන්පසු එහි සිට උඩට කැමැති ආකාරයට තනි පබළු මෙන්ම පබළු වැල් ද ගම් දමමින් අලවා ගන්න.

එහිදී ගම් භාවිත කළ යුත්තේ ඉතාමත් අල්ප වශයෙනි. නැතිනම් වියළුනු පසුව ද ගම් හොඳින් පෙනෙයි. එසේම බොහොමයක් කරඬුවල ගර්භය ඇර බැලීමට හැකිය. ඔබ තෝරා ගත්තේ එවැනි කරඬුවක් නම් එහි ඇතුළතට ද පබළු ඇලවිය හැකිය. එසේම කරඬුවෙහි ඇති සියුම් කොටස් හොඳින් ඉස්මතුව පෙනෙන පරිදි පබළු අලවා ගැනීමට ඔබට හැකි විය යුතුය.

විශේෂයෙන්ම මෙම පිත්තල කරඬුන් වහන්සේගේ වැඩ නිමකළ පසු

විටින් විට ඇල්ලීම නොකළ යුතුය. හැකිනම් වීදුරු පෙට්ටියක් මත තැම්පත් කර පූජා කළ හැකි නම් වැඩි කාලයක් ආරක්ෂා කරගැනීමට හැකිය.

 

ඔසුපැන් පාත්‍රය නිර්මාණය කිරීම

ඔබ මිලදී ගත් ඔසු පැන් පාත්‍රය මත ද පළමුව රන් පැහැය ආලේප කරගත යුතුය. පසුව එහිද යට සිට ඉහළට ගම් දමමින් පබළු වැල් අලවා ගත යුතුය. මෙහිද අලංකාර බව ඉස්මතු කිරීම සඳහා ඔබට කැමැති හැඩයේ කැමැති වර්ණ පබළුද භාවිත කළ හැකිය. එසේම මෙම නිර්මාණයන් අලංකාර කිරීමට තමා සතු නිර්මාණශීලීත්වය වඩා වැදගත් වේවි. ඔසුපැන් පාත්‍රය නිර්මාණය කිරීමේදී එහි ඇතුළත පබළු ඇලවීම නොකළ යුතුය. මේ ආකාරයට මේ වෙසක් සමයේ කරඬුන් වහන්සේ නමක් හෝ ඔසුපැන් පාත්‍රයක් නිර්මාණය කර පූජා කිරීමට ඔබටත් හැකිනම් මහත්ඵල මහානිසංස ලැබගත හැකිවේවි.

 

 

උපදෙස් - අත්කම් නිර්මාණ ශිල්පිනී

ගයනි සමරසේකර

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.