කොණ්ඩය සරසන්න අගනා කොණ්ඩ මලක්

කොණ්ඩය ලස්සන කරන්නට අගනා විලාසිතාවක්
ජුනි 23, 2021

අද අපි කොණ්ඩය ලස්සන කරන්නට අගනා විලාසිතාවක කොණ්ඩ බෑන්ඩ් එකක් නිර්මාණය කරමු.

ඔබේ කොණ්ඩය ලස්සන කරන්නට වාගේම හිත මිතුරියන්ට තිළිණ දෙන්නත් මෙවැන්නක් අපූරුයි. ඒ විතරක් නෙමේ විවිධ වර්ණවලින් මෙවැනි කොණ්ඩ බූල් රැසක් නිර්මාණයකර අලෙවි කිරීමෙන් ඔබට ආදායමක් ද උපයා ගත හැකියි.

මේ සඳහා විවිධ වර්ණ මුද්‍රිත හා තනි පැහැති රෙදි, ඉලාස්ටික් බූල් බෑන්ඩ්, නූල්, ඉඳිකටු, කතුර ආදී කළමනා අවශ්‍ය වේ. පතරොමක් සාදා ගැනීමට ඝනකම් කාඩ් බෝඩ් කොටසක් ද තෝරාගන්න. මෙය නිර්මාණය කිරීමට පළමුව පතරොමක් සකසා ගත යුතුයි. අංක 1 න් අවශ්‍ය දේවල් දැක්වේ. අංක 2 න් දැක්වෙන්නේ පතරොමයි. එම පතරොම අවශ්‍ය ප්‍රමාණයට විශාලකර කාඩ් බෝඩ් එකක ඇඳ මෙහි දක්වා ඇති හැඩයට වටේ කපාගන්න. දැන් එම පතරොම භාවිතයෙන් එකම වර්ණයෙන් හෝ වර්ණ දෙකකින් රෙදි කොටස් දෙකක් කපාගන්න.

හොඳ පිට පැති දෙක එක පැත්තට ගෑවෙන සේ කණපිට පැති දෙපැත්තට සිටින සේ රෙදි කොටස් එක මත එක තබන්න. අංක 3 රූපයේ දැක්වෙන සේ මැදින් ඉඩ තබා කඩ ඉරිවලින් දැක්වෙන සේ වටේ අතේ හෝ මැෂිමේ මසාගන්න. අංක 4 රූපය බලන්න.

වටේ මැසීමෙන් පසුව වටේට ඉතිරිවන කොටසේ කතුරෙන් කට් මාක් දමන්න. පසුව ඉඩ තැබූ තැනින් හොඳ පිට හරවා ගන්න. දැන් හොඳින් දිගහැර අංක 5 රූපයේ පෙන්වන සේ අයන් කරන්න. ඉන්පසු නැවතත් අංක 6 රූපයේ දැක්වෙන සේ කඩඉරි මඟින් පෙන්වා ඇති සේ වටේම ගැළපෙන නූලෙන් මසාගන්න.

ඉලාස්ටික් බූල් බෑන්ඩ් එක ගෙන මසාගත් කොටස එම බෑන්ඩ් එකේ තදට සිටින සේ ගැට ගසාගන්න. අංක 7 රූපය බලන්න. මෙලෙස ඔබට කැමැති වර්ණවලින් කොණ්ඩා මල් සකසා ගන්න.