දඟකාර තාරුණ්‍යයට හැඩකාර විලාසිතාවක්

දෙසැම්බර් 20, 2021

අලුත් අලුත් විලාසිතාවලින් හැඩවෙන්න කැමැති තරුණ ඔබටයි මේ ඇඳුම. විවිධ විලාසිතාවන්ට ඇඳුම් මහන්න ඉගෙන ගන්න ඔබත් මෙය මසා දෑත හුරුකර ගන්න.

අවශ්‍ය මිමි

උරහිස = අඟල් 15 1/2

කර වට = අඟල් 15

කර ගැඹුර = අඟල් 6

පපුව වට = අඟල් 39

ඉණ දක්වා උස = අඟල් 15

තනි ගවුමක් වුවත් බ්ලවුසය හා සාය කොටස් දෙකකට කපා මසා ඇත. බ්ලවුසය සඳහා නැම්මට ගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එයට මැහුම්වාසි අඟල් 1/2ක් එකතු කර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට පහතට අඟල් 1 3/4ක් පහත්කර A ලක්ෂ්‍යයට යා කරන්න. එය AC වේ.

කර වට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AEවේ. DE යා කර මූලික කර අඳින්න.

E සිට පහතට ඉණ දක්වා උස පහත්කර හරහට රේඛාව අඳින්න. අත් කට රේඛාවට උස සෙවීම සඳහා උරහිස මිම්ම දෙකට බෙදා එන පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාව අඳින්න.

අත් කට රේඛාවේ දිග ලකුණු කිරීම සඳහා උරහිස සිට පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුරට බුරුල සඳහා හා මැහුම්වාසි එකතුකර අත් කට රේඛාව හරහට ලකුණු කරන්න. එය FG වේ. G සිට ඉණ රේඛාවට කෙළින් ඉරක් අඳින්න.

අත් කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත් කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මෙ සිට මැද ලක්ෂ්‍යය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍යය කැපීයන සේ රේඛාවක් ඇඳ අත් කට වක්‍රය අඳින්න. කර ගැඹුර පහතට ලකුණු කර අත්කටට කෙළින් හරහට අඳින්න. ඉදිරි පතරොම තබා පසුපස ද නැම්මට ගෙන ඉදිරිපස පතරොම ගානට කපාගන්න.

සාය සඳහා අවශ්‍ය මිමි

බ්ලවුසයේ ඉණ වට = අඟල් 43

සාය උස = අඟල් 26

සාය සඳහා

යටින් ෆ්‍රිල් එකක් අල්ලා ඇති බැවින් එම උස අඩුකර සාය උස ගන්න. සාය සඳහා ගත් රෙදි කොටස පහතට දෙකට නමා නැවත ත්‍රිකෝණාකාරව නමන්න. මැනගත් ඉණ වට තුනෙන් බෙදා එන පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. සාය උස ප්‍රමාණයට ඉණ පළුවක මිම්ම එකතුකර A සිට පහතට ලකුණු කරන්න. එය AC වේ. B හා C රේඛාවෙන් කපාගන්න. පතරොම දිග හැර ඉදිරිපස සිට පසුපසට හැඩේට කපන්න. පසුව ඔබට අවශ්‍ය ෆ්‍රිල් උස ගෙන එය සාය වටේට අල්ලා ගන්න.

අත සඳහා ඔබට මූලික අතක පතරොමක් සාදා උඩ කොටස කපා ඉවත්කර රැලි සඳහා ඉඩ තබා කපාගත හැකියි. නැතිනම් පටියක් කපා අවශ්‍ය දිගට එය අත් කට හැඩය කවාකාර කර කපාගත හැකියි.

මැසීම

අත් කොටස අත් කටට අල්ලාගන්න. අත සමඟ කර වටට පටියක් අල්ලා ඉලාස්ටික් කර ගන්න. අංශය මසන්න. සාය ඉණට අල්ලා ගන්න. ඉණට ද පටියක් මසා ඉලාස්ටික් යොදා ගන්න.

උපදෙස් ප්‍රවීණ උපදේශිකා දිලුෂි දසනායක

සටහන

පාලිකා දිල්රුක්ෂි