වැටකේ වලින් අපූරු නිර්මාණ කරන අත්කම් ශිල්පිනිය

නාලනී හෙට්ටිආරච්චි
ජනවාරි 10, 2022

සොබා දහමේ සම්පත් දෙස නිර්මාණාත්මක ඇසකින් බලා ඒවා ආර්ථිකයට සවියක් කරගත් දක්ෂ කාන්තාවක් පසුගියදා අපට හමුවිය.

 

වැටකේ පත්‍රයකින් විස්මිත නිර්මාණ කරන්නට ඇය උපන් හපනියකි. අතීතයේ මේ කලාව වඩාත් ප්‍රචලිතව පැවැති නමුත් වර්තමානයේ මේ කලාව කෙමෙන් ගිලිහී යමින් තිබීම කනගාටුවට කරුණකි. එහෙත් අපගේ දේශීය කලාවක් ලෙස මෙය අනාගත පරපුරට දායාද කිරීමේ අරමුණින් රැක ගන්නට ඇය උත්සාහ ගනිමින් සිටින්නීය.

ඇය පානදුර වෑකඩ පදිංචි නාලනී හෙට්ටිආරච්චි මහත්මියයි.

අපේ දේ ලොවට ගෙනයමින් වැටකේ ආශ්‍රිත අත්කම් නිර්මාණ රාශියක් හඳුන්වා දී ඇති ඇය ‘තරුණී‘ සමඟ කළ කතා බහයි මේ.

‘‘ මේ අත්කම් නිර්මාණ සඳහා ලබා ගන්නා වැටකේ ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් හඳුනා ගන්න පුළුවන්. මුහුදු ආශ්‍රිත වැටකේ සහ ගම්වල වැවෙන වැටකේ ලෙස තමයි ඒවා හඳුන්වන්නේ. අත්කම් නිර්මාණ සඳහා අමුද්‍රව්‍ය ලෙස මේ වැටකේ ලබා ගැනීමේදී ස්වාභාවික පරිසර පද්ධථියට හානියක් නොකිරීමට අප වඩා සැලකිලිමත් විය යුතුයි. කහපාට ඉරිසහිත වැටකේ පත්‍ර මෙන්ම කොළපාට පත්‍ර වර්ග දෙකම අමුද්‍රව්‍ය ලෙස භාවිත කරයි. නිර්මාණ කිරීමට පෙර පත්‍ර දෙපැත්තෙහි සහ මැද නාරටියේ ඇති සියුම් කටු තංගුස් නූල් කැබැල්ලක් ආධාරයෙන් ඉවත් කරගත යුතු අතර ඉතිරි කොටස අමුද්‍රව්‍ය ලෙස පන් වලට ඉරා ගත යුතුය.

එලෙස සපයා ගන්න අමුද්‍රව්‍ය මඟින් අප එදිනෙදා භාවිතයට ගන්නා කුඩා මුදල් පසුම්බියේ සිට ලොකු කාන්තා පර්ස්, අත්බෑග්, පාසල් බෑග්, විශාල කාපට්, කලාල පැදුරු නිර්මාණය කළ හැකිය. තවද රටා මෝස්තර යොදා ගනිමින් පාට හතරෙ පටිය ගොතා එම මෝස්තර මඟින් බෑග් නිර්මාණය කළ හැකිය. කුරුල්ලන්, සත්ත්වයින් වැනි කලාත්මක නිර්මාණ සඳහා සාමාන්‍ය තනිපාට විගමන වියා වර්ණ කරයි. පරිසරයට හිතකර මේ නිර්මාණයන් වසර දහයකට වැඩි කාලයක් පරිහරණය කළ හැකියි.‘‘ නාලනී මහත්මිය පවසන්නීය.

පාට හතරකින් ගොතා හැඩගන්වන බෑග් දකින බොහෝ දෙනෙක් වැටකේ වලින් කළ නිර්මාණයක් බව දැනගත්විට විස්මයට පත්වන බවද ඇය පවසන්නීය.

කෝවිඩ් 19 වසංගතය නිසා වැසී ගිය මෙරට සංචාරක කර්මාන්තය නැවත ඇරැඹෙමින් විදේශිකයන් මෙරටට ඇදී එමින් පවතියි. මේ සමඟ අපගේ දේශීය කර්මාන්ත යළිදු පණ ගන්වා විදේශ විනිමය උපයා ගැනීමට අවස්ථාව උදා වේ. වැටකේ ආශ්‍රිත අත්කම් නිර්මාණ සඳහාද විදේශිකයන්ගෙන් හොඳ ඉල්ලුමක් ඇති බවත් නාලනී මහත්මිය තවදුරටත් පවසන්නීය.

කොවිඩ් පසුබෑමත් සමඟ නිවස තුළට කොටු වී සිටින කාන්තාවන්ට දෑතේ සවියෙන් මෙවැනි දෑ නිර්මාණය කොට තම ආර්ථිකය සවිබල ගැන්වීමටද මෙම වැටකේ ආශ්‍රිත අත්කම් නිර්මාණ කලාවට හැකියාව පවතියි. එමඟින් කාන්තාවගේ නිර්මාණශීල්තවය ලොවට කියාපෑමට අවස්ථාවක් උදාවනවා සේම හොඳ මානසික තෘප්තියක් ගොඩනගා ගැනීමට ද රැකුලක්.

දැනට ඇය විසින් කරන මේ නිර්මාණ ලක්සල සහ සංචාරක නිකේතන ආශ්‍රිත වෙළෙඳකුටිවල අලෙවි කරයි.

වැටකේ ආශ්‍රිත නිෂ්පාදන වලින් දස්කම් පාන නාලනී හෙට්ටිආරච්චි මහත්මිය අත්කම් සැලසුම් දෙපාර්තමේන්තුවේත්, මොරටුව වෙලෝනා ආයතතනයෙත්, ජාතික තරුණ සේවා සභාවේ අක්මීමන මධ්‍යස්ථානයෙන්ද වැඩිදුර පුහුණු හා හැදෑරීම් සිදුකර තිබේ. ඒ අනුව තම හැකියාවන් වර්ධනය කර ගනිමින් නිර්මාණශිලී නිමැවුම් රැසක් අපට එකතු කර ඇති ඇය ඒ පිළිබඳව පොතක් ද පලකර තිබේ. සැබැවින්ම දිරිය කාන්තාවක වන ඇය දෑතේ සවිය හා ස්වයං කැපවීම තුළින් ජීවිතය දිනා දේශීයත්වය ලෝකෙට ගෙනගිය කාන්තාවකි.