දෝණි සමනලියක් කරන හැඩකාර ගවුම් පොඩිත්තක් ඇඳුමක් මසමු

ජනවාරි 24, 2022

මලක් වගේ ඉන්න දෝණි සමනලියක් තරම් අහිංසකයි. සමනල පියාපත් වගේ ලස්සන ගවුම් අඳින්න කැමැති සිඟිත්තිය වෙනුවෙන් මේ ලස්සන ගවුමත් මසා දෙන්න. ගැළපෙන වර්ණ දෙකක රෙදි භාවිතකර ඇති නිසා එය බෙහෙවින්ම අලංකාරයි.

අවශ්‍ය මිමි

උරහිස = අඟල් 12

කර වට = අඟල් 10

යෝක් උස = අඟල් 5

ඉණ දක්වා උස = අඟල් 14

පපුව වට = අඟල් 29

ඉණ වට = අඟල් 26

සාය උස = (1) අඟල් 15

= (2) අඟල් 10

අත උස = අඟල් 5

කැප් උස = අඟල් 2 1/2

පතරොමේ අත් කට = අඟල් 9

අත අග වට = අඟල් 12

ගවුම සඳහා මුද්‍රිත හා තනි පැහැති රෙදි වර්ග දෙකක් භාවිතකර ඇත. ඒ නිසා බ්ලවුසය සඳහා පතරොමක් සාදාගැනීම පහසුවකි.

පතරොම සාදා ගැනීම සඳහා ඉදිරිපස නැම්මට ගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එන පිළිතුරට මැහුම් වාසි අඟල් 1/2 ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට පහතට අඟල් 1 3/4ක් පහත්කර A ලක්ෂ්‍යයට යා කරන්න. එය AC වේ. කර වට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යා කර මූලික කර අඳින්න. E සිට පහතට ඉණ දක්වා උස පහත් කර හරහට රේඛාව අඳින්න. අත් කට රේඛාවට උස සෙවීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. (පුංචිම දරුවන්ට නම් ඔබට අත් කට රේඛාවට උස ලෙස අඟල් 4 1/2ත් 5 1/2ත් අතර ගත හැකියි.)

අත් කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුරට බුරුල සඳහා හා මැහුම් වාසි එකතුකර අත් කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ.

ඉණ වට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුරට බුරුල සඳහා හා මැහුම් වාසි එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ. G හා I යා කරන්න.

අත් කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත් කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මෙ සිට මැද ලක්ෂය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍යය කැපී යන සේ ඇඳ අත් කට වක්‍රය අඳින්න.

ඉදිරි පතරොම වෙන් කිරීමට පෙර පසුපස පතරොම සාදාගන්න. පසුපස පතරොම සඳහා බලවාටියට ගන්න. බලවාටියේ සිට අඟල් 1ක් වාසි තබා නැම්ම රේඛාව අඳින්න. ඉදිරි පතරොමේ නැම්ම පසුපස නැම්ම රේඛාවෙන් තබාගන්න. පසුකර ගැඹුර අගල් 1 1/2ක් පහත් කර පසුකර අඳින්න. ඉතිරි ප්‍රමාණය ඉදිරිපස පතරොමේ ප්‍රමාණයට කපා ගන්න.

ඉදිරිපස යෝක් උසින් පතරොම වෙන්කරන්න. වර්ණ දෙකෙන් මැහුම් වාසි තබා පතරොම් කොටස් 2ක කපාගන්න.

පසුපස ද යෝක් උසින් කපා වර්ණ දෙකෙන් මැහුම් වාසි තබා කපාගන්න.

සාය

සාය සඳහා ද වර්ණ දෙකක රෙදි භාවිතකර ඇත. සාය සඳහා ඉණට බොක්ස් ප්ලීට් තබා ඇත. ඒ සඳහා එක් ඉණ පැත්තක් මෙන් තුන් ගුණයක රෙදි අවශ්‍ය වේ. (උදාහරණ - ඉණ වට = 26/2 = 13X3 + මැහුම් වාසි) එලෙස රෙදි කොටස් දෙකක් ගන්න. එම සාය කොටස හැඩේට කපා ඇත. ඔබ උස සඳහා ගත් ප්‍රමාණය අංශය පැත්තෙන් අඟල් 4 - 6ක් අතර ඉහළට කර කපාගන්න. අනෙක් රෙදි කොටස ද එලෙසම එම ප්‍රමාණයට එම හැඩයට තබා කපාගන්න.

පසුව එම කොටස් දෙක එකට තබා මසන්න.

අත

අත සඳහා නැම්මට නමාගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. අතු උස ප්‍රමාණයට මැහුම් වාසි එකතුකර පහතට ලකුණු කරන්න. එය AB වේ. හරහට රේඛාව අඳින්න. එය වාටිය නැම්ම රේඛාවයි. වාටිය නැම්ම රේඛාවේ සිට අඟල් 1 1/2ක් පහත්කර වාටිය රේඛාව අඳින්න.

කැප් උස පහතට පහත්කර හරහට රේඛාව අඳින්න. එය අත් කට රේඛාවයි. පතරොමේ අත් කට A සිට හැඩේට ලකුණු කරන්න. එය AC වේ. එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණුකර අත් කට වක්‍රය ඇඳගන්න. අත අග වට ප්‍රමාණය දෙකෙන් බෙදා එයට මැහුම් වාසි එකතුකර වාටිය නැම්ම රේඛාවේ හරහට ලකුණු කරන්න. එය BD වේ. D හා යා කරන්න.

මැසීම

ඉදිරිපස හා පසුපස බ්ලවුස් කොටස් දෙක මසා ගන්න. උරහිස මසා කරට පේෂිං අල්ලාගන්න. අත අල්ලා ගන්න. සාය බොක්ස් ප්ලීට් කර ඉණට තබා මසාගන්න. අංශය මසන්න.

උපදෙස් ප්‍රවීණ උපදේශිකා දිලුෂි දසනායක

සටහන

පාලිකා දිල්රුක්ෂි