ඉඳිකටුවක් තෝරා ගැනීමේ දී සැලකිය යුතු කරුණු

පෙබරවාරි 21, 2022

ජීවිතය කියන්නෙත් ගෙත්තමක්. තම තමන් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන ස්වභාවය අනුව එහි විසිතුරුභාවය සහ වටිනාකම වැඩි වෙනවා. ඒ වගේම තමයි අසාර්ථකත්වය තියෙන්නෙත් තමන් අතම තමයි. ජීවන ගෙත්තම වර්ණවත් කර ගන්නට නම් ආර්ථික ස්ථාවර බව අනිවාර්යය වෙනවා. ඒකට අවශ්‍ය පදනම තමයි ‘තරුණී මැහුම් ඉස්කෝලේ‘ මඟින් සිදු වන්නේ. ඒ නිසා රැඳී සිටින්න තරුණී සමඟින්.

පසුගිය සතියේ අප ප්‍රවේශයක් ගත්තේ මහන මැෂිමේ සුවිශේෂීම අංගයක් වන ඉඳිකටුව සම්බන්ධව ඔබව දැනුවත් කරන්නටයි. මේ සතියේ විශේෂාංගය දිග හැරෙන්නේ ද එහිම දිගුවක් ලෙසටයි.

ඉඳිකටුවක් නැතිව මහන්නෙ කොහොමද? ඒ වගේම තමයි ඉඳිකටුවක්, මැෂිමක් සහ නූල් තිබූ පමණින් ම මහන්නත් බැහැ.

එහිදී ඉඳිකටුව සහ නූල් අතිශය තීරණාත්මකයි. අපිට හිතෙන ඉඳිකටුවක් සහ නූලක් දාගෙන මහන්න බැහැ. නූල් ගැන කතා කිරීම පසුවට තබා ඉඳිකටු ගැන කතා බහට යොමු වෙමු.

එහෙම නම් එරංග රණසිංහයන්ගෙන් විමසා බලමු ඉඳිකටු තෝරා ගැනීමේ දී අවධානය යොමු කළයුතු දෑ මොනවාද කියා...

මූලිකව ගත්තාම ඉඳිකටු වර්ග දෙකක් තිබෙනවා. ඒ තමයි සාමාන්‍ය ඉඳිකටු (Normal Needle) සහ විශේෂිත ඉඳිකටු.

එකම කාර්යයකට යොදා ගනු ලැබුවත් මේ වර්ග දෙකේ පැහැදිලි වෙනසක් තිබෙනවා. සාමාන්‍ය ඉඳිකටුවලට තිබෙන ඉල්ලුම වැඩියි.

එයට හේතුව තමයි ඒවා මිලෙන් අඩුවීම එමෙන්ම ඒවා තත්ත්වයෙන් (Qulity) බාලයි. විශේෂිත ඉඳිකටු (Original) නිපදවන්නේ උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතයෙන් සහ සුවිශේෂී තත්ත්ව පරීක්ෂාවක් යටතේයි. ඒ නිසාම ඒවායේ කල්පැවැත්ම, මැස්මේ තත්ත්වය වගේම මිලත් වැඩියි. ඉහළයි. ඔරිජිනල් ඉඳිකටු භාවිතය මැෂිමේ පැවැත්මට වගේම කාර්යක්ෂමතාවටත් සෘජුවම බලපානු ලබනවා.

මෙම ඉඳිකටු වර්ග කිරීම මූලිකවම සිදුවන්නේ අංකවලින්. නිදසුන් ලෙස දක්වන්නේ නම් 8 - 9 - 10 -11 -12 - 14 - 16 - 18 - 13 ආදී වශයෙන්. පළපුරුදු අයෙක් ඉඳිකටුවේ අංකය අසුණු සැණින් දන්නවා එය යොදා ගත යුතු වන්නේ කුමන රෙදි සඳහා ද යන කාරණය.

මෙය වගුවක් මඟින් පැහැදිලි කර ගනිමු.

මෙම ඉඳිකටු වර්ග අතරින් 12/14 ඉඳිකටු බහුල වශයෙන් යොදා ගැනෙනවා. එයට හේතුව වන්නේ ඒවාට අදාළ රෙදි වර්ගවලින් මැසූ ඇඳුම් වැඩි වශයෙන් භාවිත වීමයි. ඇඟලුම් ක්ෂේත්‍රයේ දී යොදා ගැනෙන මැෂින් වර්ග සඳහා අවශ්‍ය ඉඳිකටු වර්ග පිළිබඳ වගුවක් පසුගිය සතියේ ලබා දුන්නේ පරිපූර්ණ අවබෝධයක් ඔබට ලබා ගැනීම සඳහායි.

පුංචි පහේ ඇඟලුම් කම්හලක සිහිනය දකින ඔබට ළඟ තිබෙන මැෂිමෙන් මේ ඉඳිකටු වර්ග යොදා ගනිමින් ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට යාමට පුළුවන්. එය අත්‍යවශ්‍යම කාරණාවක්. එවිට ඔබ ඇණවුම් ලබා ගැනීමේ මට්ටමට එළැඹි පසු ලැබෙන ඇණවුම කවර රෙදි වර්ගයකින් වුවද විශ්වාසයෙන් යුතුව බාර ගැනීමට හැකියාව ලැබෙනවා.

 

ඉඳිකටු පිළිබඳ තවත් අපූර්ව තොරතුරු රැසක් සමඟින් ලබන සතියේදීත් ‘තරුණී මැහුම් ඉස්කෝලේ‘ සමඟින් හමුවෙමු.

 

උපදෙස් - ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පී
එරංග රණසිංහ
ඔයාමා ෆැෂන්ස් සහ ග්‍රැෆික්ස්

 

සටහන
අජන්ත ජයසේකර