ඩාට් දැමූ A ලයින් ගවුමක හැඩ

ජූලි 25, 2022

 

චීත්ත රෙද්දෙන් මහන ගවුම් සිරුරට පහසුවක් ගෙන දෙයි. ඒ නිසා එවැනි ගවුම් ගෙදරට අඳින්න කදිමයි. ඒ සඳහා සැහුල්ලු ගවුම් විලාසිතා සොයන ඔබට මේ ඩාට් දැමූ A ලයින් ගවුම මසන ආකාරය පහදා දෙනවා. චීත්ත. රෙද්දකින් මෙය පහසුවෙන් මසාගත හැකියි.

 

අවශ්‍ය මිමි

උරහිස - අඟල් 13/2 = 6 ½+1/2 = 7

පපුව වට - අඟල් 32/4 = 8+2 = 10

ඉණට උස - 14

ඉණ වට - 28/4 = 7+2 = 9

ඉණ සිට උකුළට උස - 5

උකුළ - 34/4 = 8 ½+ 1 = 9

ගවුමේ උස - අඟල් 34 + 1 =35

ඩාට් උස - 9+1 = 10

ඩාට් පළල - 7/2 = 3 ½

අත උස - 4 + 1 ½ = 5½

අත වට - 10/2 = 5+1 = 6

 

ඉදිරිපස පළුව

පළමුව රෙද්ද නැම්මට නමා එහි ඉහළින් රේඛාවක් අඳින්න. එහි උරහිස මිම්ම ලකුණු කරන්න. එතැන් සිට පහළට පපුව වට මිම්ම (8) පමණක් ලකුණු කර පහළට රේඛාවක් ඇඳ හරහට ද රේඛාවක් අඳින්න. එම හරහට ඇඳි රේඛාවේ පපුව මිම්ම (8+2) ලකුණු කරන්න. උරහිස රේඛාවේ සිට පහළට ඉණට උස ලකුණු කරන්න. හරහට රේඛාවක් ඇඳ එහි ඉණ මිම්ම (7+2) ලකුණු කරන්න. ඉණ සිට පහළට උකුළට උස ලකුණු කරන්න. (5) හරහට රේඛාවක් ඇඳ එහි උකුළ වට (8 1/2 +1) ලකුණු කරන්න. උරහිස සිට පහළට ගවුම් උස ලකුණු කර රේඛාවක් හරහට අඳින්න. දැන් අංශ සලකුණු යා කර අංශ හැඩය ඇඳ උකුළ සලකුණේ සිට පහළට කෙළින් රේඛාවක් උස අවසන් රේඛාව දක්වා අඳින්න. එතැන් සිට ඉදිරියට අඟල් 4ක් පමණ ලකුණු කර ඒ ලයින් හැඩය ඇඳගන්න. (උකුළ සිට අඟල් 4ක් ලකුණු කළ තැන දක්වා)

 

අත්කට ඇඳීම

පපු රේඛාවේ සිට අඟල් ¾ක් ඔසවා අත් කට හැඩය රූප සටහනේ පරිදි කවාකාරව ඇඳගන්න. අඟල් 32ට වඩා පපුව වට වැඩි අය අඟල්1 ¼ක් පමණ ඔසවන්න. පපුව 39 - 45 දක්වා නම් අඟල් 2ක් එසවිය යුතුයි. කර හරහට පහළට ප්‍රමාණ ලකුණු කර, කර හැඩ ඇඳගන්න. පිටුපස පළුව අඳින විට පිටපත් කර ගැනීම සඳහා පිටුපස කර ද ඉදිරිපස පළුවේ ඇඳගන්න. ඩාට් පළල ඉණ රේඛාවේ ලකුණු කර ඩාට් උස උරහිස සිට පහළට ලකුණු කර ඉණ දෙපසට අඟල් ½ බැගින් දී ඩාට් රූප සටහනේ පරිදි අඳින්න. දැන් ඉදිරිපස පතොරම කපා ඉවත් කරගන්න.

 

පිටුපස පළුව

පිටුපස පළුව සඳහා බලවාටි එකට සිටින සේ රෙදි කොටස් 2ක් නමා අතුරාගන්න. ඒ මත ඉදිරිපස පළුව අඟල් ½ ක් නැම්මෙන් නමා දමා අතුරන්න. පිටුපස පලුව මූට්ටු කිරීමට මැදින් අඟල් 2ක් පමණ තබා ඇතිරිය යුතුයි. දැන් ඉදිරිපස පළුව පිටපත් කර පිටුපස කර පමණක් පිටපත් කරගන්න. පිටුපස පළුව ද රෙද්දෙන් කපා වෙන්කර කරට ෆේසීන් (කරපටි) කපාගන්න.

 

අත සැකසීම

රෙදි කොටස් 2ක් ගෙන නැම්මට තබා අතුරාගන්න. එහි වාටියට අඟල් 1ක් තබා පහළින් හරහට රේඛාවක් ඇඳ අත උස එතැන් සිට උඩට අඳින්න. අත උස ලකුණු කර තැන් සිට පහළට අඟල් 3ක් පමණ පහත් කර හරහට රේඛාවක් ඇද එහි උරහිස මිම්ම දෙකෙන් බෙදා ලකුණු කර තවත් අඟල් 1 ½ක් පමණ ලකුණු කර අත වට මිම්ම වාටිය නැම්ම රේඛාවේ ලකුණු කරන්න. සලකුණු යා කර අත හැඩය ඇඳගන්න. අත මුදුනේ සිට ඇලකර ඇඳි රේඛා 4ට බෙදා සලකුණු කරන්න.

අතේ කොටස් 4 ලකුණු කර ගත් රේඛාවේ පළමු සලකු‍ණෙන් අඟල් ½ක් ඔසවා තුන්වැනි සලකුණ අඟල් ¼ක් පහත් කර රූප සටහනේ ආකාරයට අත ඇඳගන්න.

 

ඇඳුම මැසීම

ඉදිරිපස පළුවේ කර වටට පටි අල්ලා මසාගන්න. ඩාට් මසා ගන්න. පිටුපස පළුවේ ද මැද මූට්ටුව මසා එලෙසම මසා ගන්න. අතේ වාටිය මසා අත් අල්ලා දෙඅංශය මසාගන්න. අවසානයේ ඇඳුමේ වාටිය මසාගන්න.

 

ඇඟලුම් විලාසිතා නිර්මාණ තාක්ෂණ ශිල්පිනී

යමුනා විජේමාන්න

 

සටහන

පාලිකා දිල්රුක්ෂි

රූ රටා - විදුමිණි