දුවටයි - පුතාටයි පාසලට නිල ඇඳුම්

දෙසැම්බර් 19, 2022

 

පාසල් නිල ඇඳුම තරම් වටිනා නිල ඇඳුමක් තවත් නැතිව ඇති. එවන් නිල ඇඳුමක් මැසිය යුත්තේද බොහොම ඉවසීමෙන් සහ වඩාත් නිවැරදිවය. මෙවන් වටිනාකමක් ඇති නිල ඇඳුම අද වෙළෙඳ පොළෙහි මිලෙන් ද අති ඉහළය පුංචි දරුවකුට පාසල් ඇඳගෙන යාමට එක් නිල ඇඳුමක් ප්‍රමාණවත් නොවේ. එබැවින් නිල ඇඳුම් කිහිපයක් මසා ගැනීම වර්තමානයේ ඉතා අසීරු වුවත් දරුවන් වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කර යුතු වෙනවා. ඉතින් මේ එ් සඳහා හොඳම විසඳුමකි. අදරණීය අම්මා කෙනෙක් වන ඔබ මේ නිල ඇඳුම මසා දෙන්නකෝ.

 

පාසල් නිල ඇදුම එතම් පාසල් අනුව වෙනස්වේ. රැලි හා කර මුලිකව වෙනස්වන අතර අද රැලි හා කොළරය සහිත ගවුම මසා ගන්නා අන්දම බලමු.

 

පුංචි දරුවන්ගේ සුදු ගවුම බොහෝ අවස්ථා වල ඉදිරිපස සම්පුර්ණ විවරය සහිතව මසා ඇත. නැතිනම් අඟල් 4ක පමණ විවරයක් යොදාගනි. එය ගැළපෙන අයුරින් ඔබ තොරාගන්න .

මේ නිල ඇඳුම මැසීමට දැඋරහිස අඟල් 11 1/2

කරවට අගල් 12

ඉණ දක්වා උස අඟල් 13

පපුවවට අඟල් 26

ඉණවට අඟල් 24

 

 

ඉණවට අඟල් 26

සාය උස අඟල් 18

 

අත උස අඟල් 5

කැප් උස අඟල් 3 1/2

අත අගවට අඟල් 8

පතරොමේ අත්කට අඟල් 7

 

පතරොම සාදා ගැනිම සඳහා නැම්මට තබා ගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න එය උරහිස රෙඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම්වාසි අඟල් 1/2 ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වෙ. B සිට අඟල් 1 1/4

ක් පහත් කර A ලක්ෂයට යා කරන්න. එය AC වේ.

කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මුලීක කර අඳින්න.

E සිට පහතට පපුව දක්වා උස හා ඉණ දක්වා උස පහත් කර හරහට රේඛා අඳන්න.

 

අත්කට රෙඛාවට උස සෙවීම සඳහා පපුවවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාව යි.

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුවවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම්වාසි හා බුරුල සඳහා එකතු කර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න එය FG වේ.

 

ඉණවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට බුරුල සඳහා හා මැහුම්වාසි එකතු කර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ.

 

GI යා කර අංශය අදින්න.

අත්කට වක්‍රය ඇඳිම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇද එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2 අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මෙ සිට මැද ලක්ෂ්‍යය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍යය කැපියන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳින්න.

 

ඔපනැළි අතර පළල දෙකට බෙදා එම පිළිතුර පපුව රේඛාවේ හරහට ලකුණු කරන්න. එය JK වේ. k සිට ඉණ රේඛාවට කෙළින් ඉරක් අඳින්න. එය KL වේ. ඩාට් පළල දෙකට බෙදා එම පිළිතුර L සිට දෙපසට ලකුණු කර K ට යා කරන්න.

 

 

 

පසුපස සදහා ද නැම්මට ගෙන ඉදිරිපස පතරොම මතින් තබා ගන්න. පසුපස උඅරහිස අගල් 1ක් උසින් වැඩි කර පසු කර ගැඹුර අගල් 1 1/4 ක් පහත්කර කපාගන්න.

 

කොළරය සඳහා කරවට ප්‍රමාණය මැන එම ප්‍රමාණය ට අඟල් 6ක් එකතුකර දිගද, උසට ද අඟල් 6ක් ලෙස රෙදි කපාගන්න. එය පහතට දෙකට නවා නැවත හරහට නවන්න. කරවට ප්‍රමාණය දෙකට බෙදා එම පිළිතුරට මැහුම් වාසි අඟල් 1/4 ක් එකතුකර හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට පහතට කෙළින් ඉරක් අදින්න. එය BC වේ. B සිට පිටතට අඟල් 1 1/2ක් ලකුණු කර C ට යා කරන්න.

 

අත සඳහා අවශ්‍ය රෙදි කොටස නැම්මට තබා ගන්න. ඉහළින් රේඛාවක් අඳින්න. නැම්මෙ උඩ සිට පහතට කැප් උස පහත් කරන්න. එය AB වේ. හරහට රේඛාව අඳින්න. A සිට පහතට උස පහත් කරන්න. එය AC වේ. හරහට රේඛාව අඳින්න. එය වාටිය නැම්ම රේඛාව යි. වාටිය රේඛාව සඳහා මැහුම් වාසි තබා වාටිය රේඛාව අඳින්න. පතරොමේ අත්කට ප්‍රමාණය A සිට හැඩේට ලකුණු කරන්න. එය AD වේ. එම රේඛාවේ මැද ලක්ශය ලකුණු කර අත්කට වක්‍රය අඳින්න. අත අග වට ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුරට මැහුම්වාසි එකතුකර වාටිය නැම්ම රේඛාවේ හරහට ලකුණු කරන්න. එය BE වේ. ED යාකරන්න.

 

සාය සඳහා අවශ්‍ය උසට මැහුම්වාසි අඟල් 4ක් පමණ එකතුකර උසද ඉණවට ප්‍රමාණයෙන් භාගය මෙන් තුන්ගුණයක් හා මැහුම්වාසි එකතුකර දිග ලෙස ගෙන එම ප්‍රමාණයෙන් කොටස් දෙකක් කපා ගන්න.

 

පළමුව බ්ලව්සයේ ඩාට් මසන්න. ඉදිරිපස ව්වරය මසාගන්න.

උරහිස මසන්න.

කරට කොළරය අල්ලාගන්න.

සාය ප්ලිට්කර අල්ලා ගන්න.

අංශය මසා වාටිය මසන්න .

 

ඉණවට ප්‍රමාණයට වඩා අගල් 3ක් පමණ වැඩිවන ලෙස කපා ගන්න.

 

පුතාගේ ඇඳුම මසා ගැනීම සඳහා අනෙක් පිටුව බලන්න

 

උපදෙස්

ප්‍රවීණ මැහුම්

උපදේශිකා

දිලිෂි දිසනායක

 

 

------------------------------

 

අලුත් අවුරුද්දක් උදාවන විට අලුත් ඇඳුම් පැලඳුම් ගන්න එක අපිට හුරු පුරුදු වෙලා. කෙසේ වුණත් දැන් පවතින ආර්ථික රටාවට නම් එවැනි දෙයක් කිරීම පිළිබඳ දෙවතාවක් සිතන්නට වෙනවා. ඒ ඉතිං පාසල් යන පුංචි දරුවන්ට අඩුපාඩු කරන්නට බැහැනේ. නව වසරේ නව පාසල් වාරය වෙනුවෙන් අලුත් ඇඳුමක් අරන් දෙන්නට ම වෙනවා. ඔන්න අපි ඔබට පුංචි පුතාගේ පාසල් නිල ඇඳුම මහගන්නා අන්දම කියා දෙනවා. ඔබේ මුදල් පසුම්බියටත් බරක් නොවී පුංචි පුතාටත් අලුත් පාසල් නිල ඇඳුමක් ලැබේවි.

 

 

ඉණවට අඟල් 28

උකුළ වට අඟල් 30

කලිසමේ උස අඟල් 18

ගොල්ෆි උස අඟල් 9 1/2

කකුළ වටය අඟල් 18

 

 

ඉණවට හතරෙන් බෙදා එයට අඟල් 2 1/2ක් එකතු කරන්න. උකුල වට හතරෙන් බෙදා එයට අඟල් 3ක් එකතු කරන්න. කලිසමේ උසට අඟල් 1/2ක් එකතු කරන්න. කකුල වටය හතරෙන් බෙදා එයට අඟල් 1/2ක් එකතු කරන්න.

 

 

මෙම කොට කලිසම සඳහා 60 පළලින් යාර 3/4 ක රෙදි කොටසක් ප්‍රමාණවත් වේ. ප්‍රථමයෙන් බලවාටි දෙක එක විට එක සිටින ලෙස රෙද්ද හරි මැදින් දෙකට නමාගන්න. නැම්ම වම් අත දෙසටත් වාටි 2 දකුණු අත දෙසටත් තබාගන්න.

 

ප්‍රථම ඉහළ රේඛාව ඇද ඇර හරි කෙළින් ඇඳගන්න. ඉණ ඉහළට අඟල් 1 1/2ක් සිටින ලෙස ටේප් එක තබාගන්න. එතැන් සිට පහළට ගොල්ෆිය උස අඟල් 9 1/2ක් ලකුණු කර නැවත කලිසමේ උස අඟල් 18 ලකුණු කරන්න. වාටිය සඳහා අඟල් 1 1/2 ලකුණු කර හරහට රේඛාව ඇඳගන්න.

 

ගොල්ෆිය රේඛාවේ A සිට B දක්වා උකුල වට හතරෙන් බෙදා එයට අඟල් 1ක් ලකුණු කරන්න. එතැන් සිට ඉදිරියට අඟල් 3ක් ගෙන A සිට B දක්වා හරි මැද සොයා ඉහළ සිට පහළට රේඛාවක් ඇඳගන්න.

එම රේඛාවේ ඉහළ මැද සිට දෙපසට ඉණවට හතරෙන් බෙදා එයට අඟල් 2 1/2ක් එකතු කර දෙකට බෙදා හරි මැද සිට දෙපසට ලකුණු කරන්න. එම ස්ථානය ගොල්ෆිය රේඛාව තෙක් ගෙන අඟල් 3/4ක් ඉහළට උස්සා ගොල්ෆිය හැඩය ඇඳගන්න.

 

කකුළ වට හතරට බෙදා අඟල් 1/2ක් එකතු කර වාටිය රේඛාවේ හරි මැද සිට දෙපසට ලකුණු කරන්න. එම ස්ථාන දෙක ගොල්ෆිය රේඛාවේ දෙකලවර දක්වා යා කර අඟල් 1 1/2ක් පහළට වාටිය ඇඳගන්න. රූප සටහනේ පෙනෙන ලෙස ඉණට අඟල් 3/4 බැගින් ප්ලීට් පරතටය තබාගන්න. මෙසේ ඇඳ කපා වෙන් කරගත් ඉදිරිපස කොටස රෙද්දේ නැම්ම දෙසට රූප සටහනේ පෙනෙන 2 රූපය තබා ඇති පරිදි තබන්න. එම රූප සටහනේ පෙනෙන පරිදි අවශ්‍ය මැහුම් වාසි තබා කපාගන්න. ඉදිරිපස දෙපසට පොකට් දෙක සඳහා 3 වැනි රූප සටහනේ පෙනෙන ලෙස කපා මසාගන්න.

ඉණට බෑන්ඩ් එක සඳහා 4 රූප සටහනේ පෙනෙන ලෙස පටි දෙකක් කපාගන්න. එහි දිග ඉණවට හතරෙන් බෙදා එයට අඟල් 2ක් එකතු කරන්න. අඟල් 4ක් උස පටි දෙකක් කපා අඟල් 1/2ක් ඉහළට උස්සා ස්ටිප් පටිය අල්ලා ගන්න.

 

මැසීමේදී ප්‍රථමයෙන් ඉදිරියට පොකට් අල්ලා ගන්න. ඉදිරියට ෆ්ලයි බොක්ස් මසාගන්න. දැන් ඉදිරි ප්ලීට් මසාගන්න. පසුපස කට් පොකට් එක මසා පසුපසට ඩාට් මසාගන්න. අවසානයේ කරුව මසා බෑන්ඩ් එක අල්ලා යට වාටිය මසාගන්න.

 

අවශ්‍ය මිමි

උරහිස

පපුව වට

කමිසයේ උස

කර වට

අත දිග

 

මිමි සැකසීම

උරහිස දෙකෙන් බෙදා එයට අඟල් 1/2ක් එකතු කරන්න.

පපුව වට හතරෙන් බෙදා එයට අඟල් 2 1/2ක් එකතු කරන්න.

කමිසයේ උසට අඟල් 1 1/2ක් එකතු කරන්න.

කර වට හතරෙන් බෙදා එයින් අඟල් 1/2 අඩු කරන්න. ( කර පළල ලෙස)

කරවට හතරෙන් බෙදා (කර ගැඹුර ලෙස)

 

මෙම කමිසය සඳහා සුදු පොලියස්ටර් රෙද්දෙන් යාර 1 1/4 ප්‍රමාණවත් වේ. එහෙත් එහි උස හා පළල වෙනස් වන විට රෙදි ප්‍රමාණයන් වෙනස් වේ.

ප්‍රථමයෙන් රෙද්ද දෙකට නමා එහි බලවාටියේ සිට අඟල් 1 1/2 නමා පහළට රේඛාවක් ඇඳගන්න. එහි මුදුනේ සිට හරහට A සිට B දක්වා උරහිස දෙකෙන් බෙදා අඟල් 1/2 ලකුණු කර එතැන් සිට පහළට අඟල් 1 පහත් කර එය A දක්වා යා කරමින් උරහිස් රේඛාව ඇඳගන්න.

 

A සිට පහළට C දක්වා පපුවට හතරෙන් බෙදා ලකුණු කර එතැන් සිට ඉදිරියට D දක්වා පපුවට හතරෙන් බෙදා එයට අඟල් 2 1/2ක් ලකුණු කර රූප සටහනේ පෙනෙන ලෙස අත් කට හැඩය ඇඳගන්න.

 

E සිට පහළට කමිසය සඳහා අවශ්‍ය උස ගෙන වාටිය රේඛාව ඇඳ G සිට H දක්වා හරහට රේඛාව ඇඳ D හා H යා කරමින් අංශය ඇඳ 7 වැනි රූප සටහනේ පෙනෙන ලෙස ඉහළ හා පහළ කොටස් එකට තබා ස්ටිප් අලවා මසාගන්න.

 

මසා ගැනීමේදී ප්‍රථමයෙන් උරහිස් මසාගන්න.

අත් දෙක නමා මසාගන්න. කරට කොළරය තබා මසාගන්න. ඉදිරියට තැබූ අඟල් 1 1/2ක වාසිය ඇතුළට තබා මසාගන්න. අංශ මසා උරහිස් අඟල් 1/2 ක්ද යට වාටිය අඟල් 1/2 ඇතුළට හා අඟල් 1/2 පිටතට සිටින ලෙස මසා බොත්තම් කාස මසා කපා බොත්තම් අල්ලා ගන්න.

 

ඡායාරූප හා රූප සටහන් දෙස හොඳින් බැලීමෙන් වඩාත් පැහැදිලි වනු ඇත.

 

 

උපදෙස් -

ප්‍රවීණ මැහුම් හා රූපලාවණ්‍ය උපදේශිකා

කාන්ති බණ්ඩාරනායක