පුළුන් වාගේ රැවුල දිගයි මේ එන්නේ නත්තල් සීයා යි

දෙසැම්බර් 19, 2022

 

සීතල උඳුවප් මාසයේ හදවත උණුසුම් වෙන්න ආදරණීයන්ට ඔයාගෙ අතින්ම නත්තල් කාඩ්පතක් හදලා දෙන්න.

 

මෙන්න මේවා භාවිත කළොත් ඔයාලට ලස්සනම ලස්සන නත්තල් සුබ පැතුම් පතක් හදාගන්න පුළුවන් :-

 

A4 ප්‍රමාණයේ ‍රතු කාඩ්පතක්

නත්තල් සීයාගෙ මුහුණේ අනුරුවෙහි පිටපතක්

රතු/ සුදු / කළු / ක්‍රීම් පාට / රෝස / ලානිල් සහ තද නිල් පැහැති මිලිමීටර් 4 ප්‍රමාණයේ කඩදාසි තීරු

පේපර් කුයිලින් නිර්මාණ සැකසීමට යොදා ගන්නා කුයිලින්ග් ටූල් එකක්

ඇලවීමට බයින්ඩර් ගම්

සිල්වර් පැහැති භාග පබළු කිහිපයක්

සෙන්ටිමීටර 15 ප්‍රමාණයේ නිල් පාට බෝඩර් දෙකක්

Merry Christmas ඩයිකට් එකක්

සිල්වර් පැහැති ග්ලිටර් බෝතලයක්

 

 

මෙ විදියට සාදා ගනිමු :-

 

පළමුව A4 කාඩ්පත ගෙන එය හරි අඩක් වන සේ දෙකට නවාගන්න. දැන් සෙන්ටිමීටර 15 දිග බෝඩර් දෙක ඉදිරිපසෙහි ඉහළට සහ පහළට වෙන්න රූපයේ පරිදි අලවා ගන්න.

 

ඉන්පසු නත්තල් සීයාගේ පින්තූරය කාඩ්පතෙහි හරි මැදට සිටින ලෙස අලවගන්න. ඊට ඉහළින් Merry Christmas ඩයිකට් එකත් අලවා ගන්න.

 

දැන් අපි පේපර් කුයිලින්ග් ආධාරයෙන් නත්තල් සීයාගෙ මුහුණ පුරව ගන්න විදිහ බලමු.

 

පළමුව නත්තල් සීයාගෙ මුහුණෙහි සියලුම අවුට් ලයින් සඳහා සිරස් අතට සිටින සේ කළු කඩදාසි තීරු අලවා ගන්න.

 

ඉන්පසු ඇස් සඳහා තද නිල් පාට කඩදාසි තීරුවක් සහ ලානිල් පාට කඩදාසි තීරුවක් ගෙන කොන් එකට අලවා කුයිලින් ටූල් එක ආධාරයෙන් තදට සිටින සේ රෝල් කරගන්න. (Tight roll) ඇස් දෙක සඳහා එවැනි කොටස් දෙකක් අවශ්‍ය වේ.

 

නත්තල් සීයාගෙ ඇහිබැම සඳහා සුදු පාට කඩදාසි තීරුවක් ගෙන ලූස් කොයිල් (Open Coil / Loose Coil) ලෙස තීරුව රෝල් කර කඳුළු බිඳුවක ආකාරයට (Teardrop)  සකසා ගන්න. පසුව එහි වටේට කළු පාට තීරුවකින් අවුට් ලයින් යවන්න. එවැනි කොටස් දෙකක් ඇහිබැම සඳහා අවශ්‍ය වේ.

 

දැන් නත්තල් සීයාගෙ තොප්පියේ රතු පාට කොටස සාදන අයුරු බලමු. රතු පාට කඩදාසි තීරු දෙකක් ගෙන කොන් එකට අලවා ලූස් කොයිල් ආකාරයට රෝල් කර හදවත හැඩයට ( Heart shape) නවා හදාගන්න.  දැන් එම හැඩ භාවිතා කර  නත්තල් සීයාගෙ තොප්පියේ මැද රතු කොටස පුරවා ගන්න.

 

තොප්පියේ සුදු පැහැති කොටස් සඳහා

සුදු පාට කඩදාසි තීරු දෙකක් ගෙන කොන් එකට අලවා ලූස් කොයිල් (Open Coil / Loose Coil) ලෙස  කුයිලින් ටූල් එක භාවිතයෙන් තීරුව රෝල් කර ඔබේ සිතැඟි පරිදි අවශ්‍ය ලෙස පුරවා සම්පූර්ණ කරගන්න. තොප්පියෙ ඉහළ කොටසේ සුදු කොටස සඳහා එවැනි කොටස් දෙකක් භාවිතා කොට ත්‍රිමාණ ආකාරයට අලවා ඇත. එසේ නත්තල් සීයාගේ නාසය සහ ඇහිබැමද ත්‍රිමාණ ලෙස සකසා ඇත.

 

එසේම මුහුණ සඳහා ක්‍රීම් පාට තීරුද තොල් සඳහා රෝස පාට තීරුද උඩු රැවුල සඳහා සුදු පාට තීරුද  දෙක බැගින් ගෙන කොන් අලවා ලූස් කොයිල් ලෙස රෝල් කරගනිමින් නත්තල් සීයාගේ අවශ්‍ය තැනට අදාළව පුරවා ගන්න.

 

දැන් නත්තල් සීයාගෙ යටි රැවුල සඳහා සුදු පාට තීරු එකට අලවා ( වැලක් ආකාරයට) සම්බන්ධිත ලිහිල් දඟර සේ ( Connected S - Scrolls) ක්විලින් ටූල් එක ආධාරයෙන් රෝල් කර ගම් තවරා නත්තල් සීයාගේ යටි රැවුල පුරවා ගන්න.

 

අවසානයට දැන් කාඩ්පතෙහි හිස්තැන් තිබෙන තැන්වල තැනින් තැන ගම් බිඳුවක් තබා පබළු අලවා ඒ වටා ග්ලිටර් වලින් හිමකිරණ ඇඳගන්න. දැන් ඔයාලගෙ දබර ඇඟිල්ලට ග්ලිටර් ටිකක් ගෙන නත්තල් සීයාගෙ සුදු පැහැති කොටස් වලද තවරා අලංකාරවත් කරගන්න.

 

 

 

අත්කම් නිර්මාණ ශිල්පිනි - සුලෝචනා සෙව්වන්දි