හරි ලස්සන මේස් බබාලා

මේස්වලින් මෙච්චර ලස්සන නිර්මාණ කරන්න පුළුවන් කියලා හිතුවද?
පෙබරවාරි 6, 2023

 

හරි ලස්සන බබාලා. හුරුබුහුටිකම වෑහෙන මේ බබාලට ආදරේ නොහිතෙන හිතක් තියේවිද?

 

සියුමැලි හිතක් තියෙන ආදරවන්තියට, මිතුරියකට, සොයුරියකට, පුංචි දියණියකට තෑගි කරන්න පුළුවන් හරි අපූරු නිමැවුමක්. ඉතින් මේ සුරතල් බබාලා දැක්කහම මොනවාවලින් ද නිමවලා තියෙන්නෙ කියලා එක්වරම හිතුණේ නෑ නේද?

මේ බබාලා හැඩ වෙලා තියෙන්නෙ පාට පාට මේස්වලින්.නිවෙස හැඩ කරන්න, මිතුරියකට තෑගි දෙන්න, පුංචි පැංචියන්ගේ කාමර හැඩ කරන්න, විනෝදාංශයක් ලෙසට හෝ ස්වයං රැකියාවක් ලෙසට කළ හැකි හරිම තෘප්තිමත් කලාවක් මේ.විදෙස් රටවල මේස්වලින් කෙරෙන නිර්මාණ ජනප්‍රිය වුවත් අපේ රටට මේ කලාව තවම අලුත්.

අවශ්‍ය දේ

මේ සඳහා අවශ්‍ය මේස් සාමාන්‍ය වෙළඳ පොළෙන් ලබා ගන්න පුළුවන්. ස්වයං රැකියාවක් ලෙස කරන කෙනෙකුට නම් පිටකොටුව, පමුණුව වැනි ප්‍රදේශවලින් තොග මිලට ලබා ගත හැකියි. Full Socks මෙන්ම Half Socks ද මේ නිර්මාණ කරද්දි අවශ්‍ය වෙනවා. Large, Medium, Small ප්‍රමාණයේ මේස් වර්ග මෙහිදී උපයෝගී කර ගැනේ. විචිත්‍රවත් වර්ණයන්ගෙන් යුතු මේස් වර්ග ගැළපෙන පරිදි යොදා ගැනීමෙන් හරි අපූරු නිර්මාණ කර ගත හැකියි. අවශ්‍ය වන්නේ ඔබ නිර්මාණශීලි සිතැත්තියක් වීම සහ නිර්මාණශීලි ලෙස දෑත හැසිරවීමට ඇති හසුරු කුසලතාවයි.

Large Size එකේ සුදු පැහැති මේස් එකක් ගන්නේ නම් එය විලුඹ ළඟින් නමාගෙන එතැනින් කපා වෙන්කර ගන්න.විලුඹෙන් යට කොටසටයි පැඩිං හෝ පුළුන් පුරවන්නේ. එලෙස පැඩිං හෝ පුළුන් පුරවා අඟලක පමණ කොටසක් ඉතිරි කරගෙන නූල් ඇදගන්න. ඉතිරි කරගත් අඟලක පමණ කොටස ඇතුළට නමාගෙන නූල තද කොට ගැටයක් දමා ගන්න. මේ පැඩිං හෝ පුළුන් මේස් එක ඇතුළේ හිර වෙන්නටම පුරවා ගත යුතුයි.

පැඩිං නැමෙන නිසා අතින් බෙල්ල කොටස හිරකරගෙන අල්ලාගෙන එතැනිනුත් නූල් ඇද ඇදගෙන ගැටයක් දමා ගන්න. මේස් බබාට ඇඳුමක් අන්දනවා නම් ඒ සඳහා යොදාගන්නේ වෙනත් පැහැයක මේස් එකක්. සුදු පාට මේස් එක ගන්නෙ මේස් බබාගේ සිරුරේ මූලික කොටසටයි. මේ සඳහා large size, full size මේස් එකක් බොහෝවිට අවශ්‍ය වේවි.

small size, Half size මේස් එකකින් ඇඳුම කොටස සකසා ගන්න පුළුවන්. ඇඳුම කොටස ඇන්දවීමෙන් පසුවයි අත් කකුල් වෙන් කරන්නේ. අත් දෙක හදද්දි එක පැත්තක් තදින් අල්ලගෙන මසා ගැනීම අවශ්‍යයි. දම්වැල් මැස්ම උපයෝගී කරගෙන මසා ගැටයක් දමා ගත යුතුයි. අත් දෙකම මසාගෙන කකුල් මසා ගැනීම කරන්න පුළුවන්. දෙපැත්තට සමානව කකුල් දෙක අල්ලා වටේට එක සැරයක් හෝ දෙසැරයක් කකුල හිරවන ලෙස මසාගෙන එතැනටත් ගැටයක් දමා ගත යුතුයි.

 

ඇඳුම් හැඩ කිරීමට

මේ සඳහා වෛවර්ණයන්ගෙන් යුතු විවිධ හැඩතලවලින් යුතු බොත්තම් එක්කර ගත හැකියි. හැකි එසේම පබළු, සීකුවින්ස් වගේ විවිධාකාර දේවල් ද එකතු කරගන්න පුළුවන්.

මේස් බබාගේ ඇස් නූල්වලින් මසාගන්න. පෑනකින් ඇස් දෙක ඇඳගෙන දම්වැල් මැස්මෙන් මහන්න. මේ විදිහටම කටත් මහන්න පුළුවන්. වෙළෙඳපොළේ විකිණීමට ඇති කුඩා ඇස් ගෙනැවිත් මසා ගැනීමෙන් වඩාත් අලංකාර කරගත හැකි වේවි.

සිරුර කොටස සඳහා ගත් මේස් එකේ කපාගත් ඉතිරි කොටස තොප්පිය සාදා ගැනීම සඳහා යොදාගත හැකියි. උඩ කොටස අඟලක් පමණ තබා මසා ගත යුතුයි. වටේට නූල් ඇද ඇතුළට නමාගන්න. තොප්පියට ලස්සන ලස්සන සැරසිලි කරගත හැකියි. මල් මැසීම, නත්තල් තොප්පි මෙන් වූල්වලින් සරසා ගැනීම, රිබන් ගැට ගැසීම, නෙට් රෙද්දෙන් සරසා ගැනීම මේ ආදී ඕනෑම දෙයක් කරගත හැකියි.

 

උපදෙස්:

අත්කම් නිර්මාණ ශිල්පිනී

ශ්‍රීමාලි සමරවික්‍රම