වූල් ගෙතුමෙන් ගමනට බිමනට බෑගයක්

අප්‍රේල් 17, 2023

නිල් පාටේ ප්‍රභේද දෙකක්. හරිම ලස්සනයි. මේ පාට දෙක එකතු වූ වූල් ගෙතුමෙන් බෑග් එකක් ගේතූවිට තවත් ලස්සනයි.

විවිධ වර්ගයේ අත්කම් නිර්මාණ කියා දෙන මේ විශේෂාංගයෙන් අද අපි ගෙන එන්නේ දෝණිට පංති ගෙනියන්න වගේම එදිනෙදා ගමන්බිමන් යන ඔබටත් ගෙන යා හැකි බෑග් විලාසිතාවකි.

එසේ නම් අපි මේ බෑගය නිර්මාණය කරගන්නා ආකාරය බලමු.

වූල් බෝල 12ක්

ලයිනින් සඳහා රෙදි

ෂිපර් 02ක්

ගෙතුම් කටුව

ගෝල්ඩ් පාට බොත්තම්

 

දම්වැල් කොටසක්

 

පළමුව 1 රූපයේ දැක්වෙන පරිදි අඟල් 10 දිග දම්වැලක් ගොතා ගන්න. එම දම්වැලට දෙපට පිරවුම යොදා, අවසාන දම්වැලට දෙපට පිරවුම් හයක් යොදන්න. පසුව දම්වැලේ අනෙක් පසත් දෙපට පිරවුමෙන් ගොතා ගන්න. නැවත අනෙක් කෙළවර අවසානයේ ද දෙපට පිරවුම් 06ක් යොදන්න. 2 රූපයේ දැක්වෙන පරිදි දෙකෙළවර පැන්නුමකින් මූට්ටුකර ගන්න. එවිට දිග ඕවලාකාර පටියක් නිර්මාණය වනු ඇත.

ඉන්පසු දම්වැල් තුනක් ගොතා ඊළඟ පේළිය ආරම්භකර දෙපට පිරවුමෙන් පේළිය ගොතන්න. එහිදී කෙළවර යෙදූ ගෙතුම් හය අතරට දෙපට පිරවුම් දෙක බැගින් යොදන්න. මෙය ගෙතුම් කොටසේ කෙළවර දෙකටම යොදන්න.

මේ අකාරයට 3 රූපයේ පරිදි පේළි ගොතා බෑගයේ අඩිය නිර්මාණය කරගන්න.

ඉන්පසු බෑගයේ උඩ කොටස සඳහා, දම්වැල් තුනක් ගොතා, පළමු දෙපට පිරවුම අතරින් කටුව යවා නූල පන්නා 4 රූපයේ දැක්වෙන පරිදි දෙපට පිරවුම ගොතන්න.  5 රූපයේ පරිදි සම්පූර්ණ අඩිය වටේටම මේ ලෙස ගෙතුම් යෙදිය යුතුය. බෑගයේ උඩ කොටස මීළඟ පේළියේ සිට දෙපට පිරවුමෙන් ගෙතිය යුතුය. මේ ආකාරයේ පේළි 11ට පසුව තද නිල් පාට නූල අමුණා 6 රූපයේ මෙන් දෙපට පිරවුමෙන් පේළි 2ක් ගොතාගන්න. නැවත පෙර වර්ණයෙන්ම පේළි 05ක් දෙපට පිරවුමෙන් ගොතා ගන්න. 7 රූපයේ පරිදි නැවතත් තද නිල් පාට නූලෙන් දෙපට පිරවුමෙන් පේළි 02ක් ගොතන්න.

පෙර පරිදිම ළා නිල් පාට නූලෙන් දෙපට පිරවුමෙන් පේළි 10ක් ගොතන්න. 8 රූපය දෙස බැලීමෙන් එය වඩාත් පැහැදිලි වනු ඇත.

 

ලයිනින් සකසා ගැනීම

 

මෙය කොටස් දෙකක බෑගයක් බැවින් ලයිනින් රෙදි කොටස් දෙකක් සහ ෂිපර් දෙකක් අවශ්‍ය වේ. බෑගයේ ශක්තිමත් බව සඳහා 9 රූපයේ දැක්වෙන පරිදි තවත් රෙදි කොටසක් අවශ්‍ය වේ. අඟල් 18× 12 ප්‍රමාණයේ මේ රෙදි කොටස් දෙකට ෂිපර් දෙක අල්ලා ගන්න. දැන් 10 රූපයේ පරිදි එම ෂිපර් දෙකේ මැද කොටසින් එකට මූට්ටුකර ගන්න. ඉන්පසු 11 රූපයේ දැක්වෙන ආකාරයට මෙම කොටසට පිටතින් එන රෙදි කොටස මසා ගන්න.

 

සාක්කුව සකසා ගැනීම

 

මුලින්ම අඟල් 7ක දම්වැල් කොටසක් ගොතා එයට පිරවුම් යොදා අඟල් 6ක් උස කොටසක් ගොතා ගන්න. එමෙන්ම අඟල් 9.5ක් දිග සහ අඟල් 2ක් උස කොටසක් ද 12 රූපයේ පරිදි එය බෑගයට සවිකර ගන්න.

ඉන්පසු මසාගත් ලයිනින් කොටස ඇතුළු කොට ෂිපරයේ කටට සම්බන්ධකර මසා ගන්න.

 

බෑගය ෂිපරයෙන් මසාගත් පේළියේ ගෙතුම් අතරින් කටුවා යවා දෙපට පිරවුම පේළි 02ක් ගොතන්න.

තද නිල් පාටින් පේළියක් ගොතන්න.

බෑගයේ හැඬලය සකසා ගැනීමට, කටෙහි හරි මැද සිට අඟල් 4 බැගින් දෙපසට සලකුණු කරගන්න. 15 රූපයේ දැක්වෙන ආකාරයට පේළිය දෙපට පිරවුමෙන් ගොතාගෙන විත් සලකුණු කරගත් ස්ථානයේ සිට අඟල් 15ක් දිග දම්වැලක් ගොතා නැවත අනෙක් ලකුණුකර ගත් ස්ථානයට මූට්ටුකර දෙපට පිරවුමෙන් පේළිය ගොතන්න. අනෙක් පස ද එලෙසම අඟල් 15ක දම්වැල් ගොතා අමුණා ගන්න.

මීළඟ පේළි තනිපට පිරවුමෙන් ගොතා ගන්න. හැඬලයේ දම්වැල්වල ද තනිපට පිරවුම් යොදන්න. මෙලෙස තනිපට පිරවුම් පේළි 04ක් ගොතන්න. අවසානයට සාක්කුවට බොත්තම් සහ දම්වැල් කොටස සවිකර ගන්න.

 

 

උපදෙස්

වූල් ගෙතුම් ශිල්පිනී

මධූෂා වික්‍රමනාරායන