පුංචි පැංචගෙ කාමරය සලසන්න අපූරු යාළුවෙක්

ඔක්තෝබර් 9, 2023

මවු පදවිය අපේක්ෂිත ඔබ මේ දවස්වල පුංචි පැටියා ගේන්න කාමරය ලස්සනට සකසනවා විය හැකියි. ඉස්සරකාලේ නම් මේක ටිකක් කළුවර කාමරයක් විදිහට තමයි යොදා ගත්තේ. ඒත් දැන් වෛද්‍ය විද්‍යාව අනුව මේ පුංචි පැංචාගේ, පැංචිගෙ කාමරේ හොඳ එළියක් ඇති ලස්සන වර්ණවත් කාමරයක් විය යුතුයි. බලන්නකෝ, මේ ළදරු පැති කොට්ටය දෙස.

මෙමඟින් බබාගේ වර්ධනයට ලොකු උත්තේජනයක් ලැබෙනවා.

පුංචි පැටියකු ලැබෙන්න ඉන්න ඔබට ඔබගේ මවට හෝ යෙහෙළියට කියා මේ ළදරු නිෂ්පාදනය අපූරුවට මසා ගත හැකියි.

 

අවශ්‍ය ද්‍රව්‍ය :-

 

* බෙල්බෝවා ( රෙදි කොටස් දෙකයි)

* ෆෙල්ට්

* රෙදි ඇලවීමට සුදුසු ගම්

* දරුවන්ට පාවිච්චියට සුදුසු පුළුන්

 

මෙලෙසින් සාදා ගනිමු

පළමුවැනි ඡායාරූපයේ පෙනෙන පරිදි උස සෙන්ටි මීටර් 24 ක් හා පළල සෙන්ටිමිටර් 35 ක් වූ

සුදු වෙල්බෝවා රෙදි කොටසක් කපා ගන්න. පිටුපස කොටසටද එම ප්‍රමාණයෙන්ම තමන් කැමැති වර්ණයක රෙදි කොටසක් කපාගත යුතුයි. ඉන්පසුව හොට කොටස් තැඹිලි හා කහ පාට ෆෙල්ට් රෙදිවලින් කපාගන්න. දැන් හොට කොටස සුදු පාට රෙදි කොටසේ අලවා ගන්න. කළු ෆෙල්ට් රෙදිවලින් කොටස් කපාගන්න. ඉන්පසු එම කොටස් ඡායාරූපයේ පෙනෙන පරිදි අලවා ගන්න.

ස්වයං රැකියාවක් ලෙස මෙම කොට්ට නිර්මාණය කරන්නේ නම් මෙම කොටස් විවිධ වර්ණවලින් එකින් එක මසා ගැනීමෙන් හොඳ නිමාවක් ලබා ගන්නට පුළුවන්.

 

දැන් රෙදි කොටස් දෙක මුහුණට මූණ තබා මසාගන්න. යට කොටසේ සෙන්ටිමිටර් 10ක විවරයක් තබා හොඳ පිටට හරවා එම විවරයෙන් පුළුන් පුරවා ගන්න. අවසානයේදී තමන්ට කැමති පරිදි බෝ එකක් සාදා රෙදි ඇලවීමට සුදුසු ගම් වර්ගයකින් අලවා ගන්න.

 

 

උපදෙස්:-

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

හංසි ජයකොඩි