රැන්ග්ලර් අත ඔබ සැබෑ හැඩකාරියක් කරාවි

ඔක්තෝබර් 23, 2023

මේ රැන්ග්ලර් අත සහිත ගවුමකි.

 

මෙන්න අවශ්‍ය මිමි

 

* උරහිස අඟල් 15

* කරවට අඟල් 14

* කර ගැඹුර අඟල් 6

* ඉණ දක්වා උස අඟල් 14

* පපුව වට අඟල් 37

* ඉණ වට අඟල් 30

* ඉණේ සිට සාය උස අඟල් 32

* උකුළ දක්වා උස අඟල් 7

* උකුළ වට අඟල් 38

* අත උස අඟල් 16

 

මෙම ගවුම් නිර්මාණය සඳහා බ්ලවුසය හා සාය කොටස වෙන වෙනම සාදා ඇත.

බ්ලවුසය සඳහා උස අඩුවෙන් ගෙන ඇත. අත සඳහා භාවිතකර ඇත්තේ රැන්ග්ලර් අතයි.

 

පතරොම සාදා ගැනීම සඳහා නැම්මට තබා ගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම් වාසි අඟල් 1/2ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය ඒඕ වේ. ඕ සිට අඟල් 1 3/4ක් පහත්කර ඒ ලක්ෂ්‍යයට යා කරන්න. එය ඒඛ් වේ.

කර වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර ඒ සිට පහතට ලකුණු කරන්න. එය ඒච් වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය ඒඛ් රේඛාවේ හරහට ලකුණු කරන්න.

එය ඒඡ් වේ. ච්ඡ් යාකර මූලික කර අඳින්න. කර පළල අඟල් 2ක් පමණ වැඩි කරගන්න. කර ගැඹුර පහත්කර අඳින්න.

 

ඡ් සිට පහතට ඉණ දක්වා උස පහත්කර හරහට රේඛා අඳින්න.

අත්කට රේඛාවට උස සෙවීම සඳහා උරහිස් ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුර ඒ සිට පහතට ලකුණු කරන්න. එය ඒජ් වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාවයි.

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි හා බුරුල සඳහා එකතුකර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න එය ජ්ට් වේ.

ඉණ වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට බුරුල සඳහා මැහුම් වාසි එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය ඩ්ධ් වේ. ට්ධ් යාකර අංශය අඳින්න.

 

අත්කට

වක්‍රය ඇඳීම සඳහා ඛ් සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂ්‍යය දෙසට ලකුණු කරන්න. ඛ් සිට එම ලක්ෂ්‍යය කැපී යන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳින්න.

 

රැන්ග්ලර් අත සෑදීම සඳහා කරේ සිට අත්කට රේඛාවට රූපසටහනේ පරිදි අඳින්න. පසුව අත සඳහා අවශ්‍ය දිග උරහිස රේඛාවෙන් දිගට ගන්න. මැහුම් වාසි තබා බ්ලවුසය කොටස කපාගන්න.

 

පසුපස

 

පසුපස සඳහා බලවාටියට ගන්න. බලවාටියේ සිට අඟල් 1ක් වාසි තබා නැම්ම අඳින්න. ඉදිරිපස පතරොම නැම්ම මතින් තබාගන්න. පසුපස ඉදිරිපස ගාණට පසුපස ද කපාගන්න.

 

අත සඳහා වෙනම රෙදි කොටසක් නැම්මට නවාගන්න. පතරොමෙන් වෙන් කරගත් කොටස නැම්මට අඟල් 2ක් 3ක් පහළින් තබා කපාගන්න.

 

සාය

 

සාය සඳහා කෑලි 2 සාය කපා ඇත. ඒ සඳහා රෙදි කොටස නැම්මට නවාගන්න. බ්ලවුසයේ ඉණවට මිම්ම මැන එයට හතරෙන් බෙදා මැහුම් වාසි එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය ඒඕ වේ. උකුළ දක්වා උස පහත් කරන්න. එය ඒඛ් වේ. හරහට රේඛාව අඳින්න. එය උකුළ රේඛාවයි. උකුළ වට ප්‍රමාණය හතරෙන් බෙදා එයට මැහුම් වාසි එකතුකර උකුළ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය ඛ්ච් වේ.

 

වාටිය රේඛාවට කෙළින් ඉරක් ඇඳ වාටියෙන් අවශ්‍ය පළල තබා ච් ලක්ෂ්‍යය යා කරන්න. පසුපස ද බලවාටියට තබා අඟල් 1ක් වාසි තබා ඉදිරිපස ගාණට කපාගන්න .

 

මෙලෙසින් මසාගන්න.

 

* අත ඉලාස්ටික් කරගන්න.

* බ්ලවුසයට අල්ලා ගන්න.

* සාය අල්ලා ගන්න.

* අංශය මසන්න.

 

 

උපදෙස් -

මැහුම් නිර්මාණ ශිල්පිනී

දිලූෂි දසනායක