සැහැල්ලුවෙන් ගමන් යන්න එලිෆන්ට් පෑන්ට් විලාසිතාවක්

නොවැම්බර් 6, 2023

මේ දවස්වල මඟතොටේ වැඩිපුරම දකින විලාසිතාවක් තමයි එලිෆන්ට් පෑන්ට් එක. ඔබටත් එවැනි විලාසිතාවකින් හැඩ වන්නට ආසයි නේද?

මෙය සැහැල්ලුවෙන් ඇඳගෙන යා හැකි වගේම ඉතාමත් සැහැල්ලුවෙන් මසාගත හැකියි. යහළු යෙහෙළියන් සමඟ විනෝද ගමනක් යාමේදී මෙවැනි ඇඳුමකින් ඔබටත් හැඩ විය හැකිය.

 

මේ සඳහා අවශ්‍ය මිමි

 

ඉණවට අඟල් 30

උකුළවට අඟල් 36

ගොල්ෆි උස අඟල් 9

දණහිස දක්වා උස 18

උස අඟල් 36

දණහිස වට අඟල්16

කකුලවට අඟල් 18

 

මේ ආකාරයට මසාගන්න

 

පළමුව රෙදි කොටස බලවාටියට නවාගන්න. අඟල් 1/2ක් මැහුම්වාසි තබා ඉණ රේඛාව අඳින්න. ඉණ රේඛාවේ සිට පහතට ගොල්ෆිය, දණහිස දක්වා උස හා සම්පූර්ණ උස පහත්කර හරහට රේඛා අඳින්න. වාටිය සඳහා අඟල් 1 1/2ක් තබා ගන්න. බලවාටියේ සිට ඉණ රේඛාවේ අඟල් 2 1/2 ලකුණු කරන්න. එය AB වේ.

 

බලවාටියේ සිට ගොල්ෆි රේඛාවේ හරහට අඟල් 1 1/2 ක් ලකුණු කරන්න. එය CD වේ. DB යා කරන්න.

ඉණවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට ෆ්ලීට් සඳහා එකතුකර අඟල් 1 1/2 ක් පමණ B සිට හරහට ලකුණු කරන්න. එය BF වේ.

 

D සිට ගොල්ෆි වක්‍රය අඟල් 1 1/2ක් අඳින්න.

ඉණ රේඛාවත් ගොල්ෆි රේඛාවත් අතර මැද ගෙන හරහට රේඛාව අඳින්න. එය උකුළ රේඛාව යි.

 

ඉණ මිම්මේ මැද ලක්ෂ්‍යය ලකුණුකර එතැන් සිට වාටිය රේඛාවට කෙළින් ඉරක් අඳින්න.

 

උකුළවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර උකුළ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය GH වේ.

 

දණහිස වට හතරෙන් බෙදා එම පිළිතුර දණහිස රේඛාවේ මැද සිට දෙපසට ලකුණු කරන්න. එය IJ වේ.

 

කකුලවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර වාටිය නැම්ම රේඛාවේ මැද සිට දෙපසට ලකුණු කරන්න. එය KL වේ. දෙපස හැඩකර ඇඳ මැහුම්වාසි තබා කපාගන්න.

 

පසුපස

 

පසුපස සඳහා බළවාටියට ගෙන ඉදිරිපස පතරොමෙන් ගොල්ෆියේ සිට අඟල් 2ක්ද දණහිස රේඛාවෙන් හා වාටිය රේඛාවෙන් අඟල් 1ක බැගින් වැඩිකර අඳින්න.

 

ඉණ පටිය සඳහා ඉණවට ප්‍රමාණය මැන එම ප්‍රමාණයට වඩා අඟල් 2ක් පමණ දිගද උස අඟල් 4ක් ලෙස කපාගන්න.

පසුව එය දෙකට නවා සාදාගන්න .

මෙලෙසින් මසාගන්න

 

* ගොල්ෆි වක්‍රය මසන්න.

* ඉදිරිපස හා පසුපස ඉණ ෆ්ලීට් එක සාදා ගන්න.

* අවශ්‍ය නම් පොකට් මැසිය හැක.

* අංශය මසාගන්න.

* කකුල මැද පහතට මසන්න.

* වාටිය මසන්න.

උපදෙස් -
මැහුම් නිර්මාණ ශිල්පිනී දිලූෂි දසනායක