ඉවතලන ප්ලාස්ටික් බෝතලයෙන් අපූරු මල් බඳුනක්

නොවැම්බර් 6, 2023

 

සොබා දහම කියන්නේ අපිට නැතිවම බැරි දෙයක්. මේ මිහිතලය, ගස් වැල් සතා සිව්පාවා ඇළ දොළ මේ හැම දෙයක්ම ජීවත්වෙන්න අත්‍යවශ්‍යයි. ඒ නිසා ලෝකයම කතා බහ කරන්නේ පරිසරය ආරක්ෂා කරගන්න. පරිසරය ගැන කතා කරද්දි පරිසරය ආරක්ෂා කරනවට වඩා පරිසර දූෂණය ඉතාම සීඝ්‍රයෙන් ඉහළ යනවා.

ඒකට ප්‍රධනතම හේතූන් අතර නොදිරන ප්ලාස්ටික් තමයි ඉහළින්ම තිබෙන්නේ. ඉතිං මේ දිරාපත් නොවන ප්ලාස්ටික්වලින් වෙනත් ප්‍රයෝජනයක් ගන්නට හැකිනම් සොබාදහමේ ආරක්ෂකයෙක් වෙන්න වගේම නිමැවුම් කරුවෙක් වෙන්නත් පුළුවන්. ඉතින් අද කියන්න යන්නේ සොබාදහමේ ආරක්ෂකයෙක් වෙලා නිර්මාණ කරුවකුත් වෙන්න පුළුවන් ක්‍රමයක් ගැනයි.

ඉවතලන ප්ලාස්ටික් බෝතල් යොදාගෙන අපූරු මල් බඳුන් නිර්මාණය කළ හැකි බව ඇසුවොත් ඔබ පුදුම වනවා නොවෙද. ඉතිං අද කියලා දෙන්න යන්නේ නොදිරන ප්ලාස්ටික් බෝතලයකින් අපූරු මල් බඳුනක් හදන විදිහයි. එන්න සොබාදහමේ ආරක්ෂකයෙක් වී

 

නිර්මාණකරුවෙක් වෙන්න මේ මල් බඳුන නිර්මාණයකර ගෙවත්ත හැඩ කරමු.

බැටළු පැටවා

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

ප්ලාස්ටික් බෝතල්

ප්ලැටිග්නම් එකක්

බවුත් එක (soldering iron)

කැමැති වර්ණයකින් තීන්ත

පින්සලක්

ග්ලූගන් එකක්

ප්ලාස්ටික් ඇස්

මල් පැළ

 

නිර්මාණය කිරීම

 

පළමුව ප්ලාස්ටික් බෝතලයක් ගෙන 1 රූපයේ දැක්වෙන පතරොම් කොටස් තබා ප්ලැටිග්නම් එකකින් ඇඳගන්න. අවශ්‍ය ප්‍රමාණයට පතරොම් සකස්කර ගන්න. 2 රූපයේ පරිදි ඇඳගත් කොටස් මත රත් වූ බවුත් එක තබා කොටස් වෙන්කර ගන්න. ඉන්පසු 3 වැනි රූපයේ පෙනෙන පරිදි කොටස්වලට අවශ්‍ය වර්ණ ගල්වා ගන්න. වේළුණු පසු ග්ලූගන් එක ආධාරයෙන් 4 වැනි රූපයේ පෙන්වන ආකාරයට බැටළු පැටවාගේ කොටස් ටික අලවා ගන්න. බැටළු පැටවාගේ මුහුණ මත ප්ලාස්ටික් ඇස් දෙක අලවා නාසය සහ කට කළු වර්ණයෙන් ඇඳගන්න. 5 වැනි රූපයෙන් දැක්වෙන්නේ මෙලෙස අවසන් කරගත් බැටළු පැටවාගේ හැඩයෙන් යුතු අපූරු මල් බඳුනකි.

 

කුකුළු පැටවා

 

ප්ලාස්ටික් බෝතලයක් ගෙන 1 වැනි රූපයේ දැක්වෙන පතරොම් කොටස් තබා ඉහත නිර්මාණයේ ආකාරයට ප්ලැටිග්නම් එකකින් ඇඳගන්න. අවශ්‍ය ප්‍රමාණයට පතරොම් සකස්කර ගන්න. ඇඳ ගත් කොටස් මත රත් වූ බවුත් එක තබා කොටස් වෙන්කර ගන්න. 2 වැනි රූපයෙන් පෙන්වන පරිදි කොටස්වලට අවශ්‍ය වර්ණ ගල්වා ගන්න. වේළුණු පසු ග්ලූ ගන් එක ආධාරයෙන් 3 වැනි රූපයේ ආකාරයට කුකුළු පැටවාගේ කොටස් ටික අලවා ගන්න. මුහුණට ප්ලාස්ටික් ඇස් දෙකක් අලවා ගන්න. 4 වැනි රූපයෙන් පෙනෙන්නේ මෙලෙස අවසන් කරගත් කුකුළු පැටියාගේ හැඩයෙන් යුතු මල් බඳුනකි.

මෙම මල් බඳුන් 2 සාදා අවසන්කර ගත් පසු අඩිය සිදුරුකර විසිතුරු මල් පැළ සිටුවා ගන්න. පඳුරු සහිත කුඩා පැළ වර්ගයක් නම් මේ මල් බඳුන් සඳහා වඩාත් උචිතයි.

 

උපදෙස් -

හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයේ, නොවිධිමත් අධ්‍යාපන අත්කම් උපදේශිකා අත්කම් නිර්මාණ ශිල්පිනී

බිස්මි රංගනා කුරුවිට ආරච්චි