ආලින්දයේ පිපී හිනැහෙන මල් කුමාරියෝ

ජනවාරි 15, 2024

තරුණී වෙතින් ඔබට තිළිණ කරන කතිර රටා එම්බ්‍රොයිඩරි කලාවට පාඨක කාන්තා ඔබෙන් ලැබෙන ඉල්ලීම් බොහෝය. ඒ ඉල්ලීම් අතර මේ විදිහේ ආලින්දය සරසන මේස රෙද්දක්, ඇඳ ඇතිරිල්ලක් නිර්මාණ කරන අයුරුත් ඉල්ලා තිබුණා. ඔබේ ඒ ඉල්ලීම ඉටුකර ලන්නයි මේ සූදානම.

ඔන්න ඉතින් මේ ඉදිරිපත් කරන්නේ ලස්සනම ලස්සන මලින් පිරුණු පුංචි මේස අලංකරණයකි. දැන් ඔයාලා කතිර මැහුම්වලට සූදානම් වෙන්නේ කොහොමද කියලත් දන්නවා. ඒ ගැන සම්පූර්ණ විස්තරයක් අපි පසුගිය සතියේ ලබා දුන්නා. එසේ නම් ඒ මතකයත් සමඟින් අද අපි මේ නිර්මාණය කර ගනිමු.

කතිර රටාවන්ට සුන්දරවූත් අලංකාරවූත් පෙනුමක් ගෙන දෙන්නේ කපු කැරලි නූල්ය. නූල් කැරැල්ලක පොටවල් 06ක් ඇති අතර අඟලට කොටු 14ක් ඇති අයිඩා රෙද්දේ මසන්නේ නම් පොටවල් දෙක බැඟින් වෙන් කරගෙන ඉදිකටුවට නූල් අමුණා මසාගත යුතුයි. ආපසු මැස්මෙන් outline කරගත යුතු ස්ථාන වේ නම් ඒ සඳහා භාවිත කළ යුත්තේ එක් නූල් පොටක් හෝ දෙපොටක් පමණි. අඟලට කොටු 11ක් ඇති අයිඩා රෙද්දේ මසන්නේ නම් නූල් පොටවල් තුන බැඟින් ඉදිකටුවට අමුණා කතිර මසාගත යුතුයි. සමහරු පොටවල් හයම භාවිත කර මසයි.

මේ කතිර රටාව සඳහා ඔබට අවශ්‍ය කරන දේවල්,

අඟලට කොටු 11 හෝ 14 සුදු පැහැති අයිඩා රෙදි කොටසක්

නොම්මර 24 හෝ 26 ටැපැස්ට්‍රි ඉදිකටු

අවශ්‍ය වර්ණ කපු කැරලි නූල

රාමුවක්

කතුරක්

 

මේ විදිහට නිර්මාණය කරගන්න,

මෙය අඟල් 17×17 ප්‍රමාණයේ විෂ්කම්භයක් ඇති නිර්මාණයකි. අඟලට කොටු 10ක් හෝ 11ක් ඇති රෙදි භාවිත කරන්නේ නම් නිර්මාණයේ ප්‍රමාණය තරමක් විශාල වේ. ඒ සඳහා නූල් පොටවල් තුනක් භාවිත කළ යුතුය.

එමෙන්ම නිර්මාණය මේස රෙද්දක් ලෙස භාවිත නොකර රාමුකර ගැනීමට අවශ්‍ය නම් ඔබට කැමති පරිදි ඉඩ තබා රෙදි කැබැල්ලක් කපාගත යුතුය. ඒ සඳහා හතර පැත්තෙන්ම අඟලට කොටු ප්‍රමාණය මත තෝරා ගත් රෙදි වර්ගය අනුව නූල් පොටවල් ගණන තෝරා ගන්න. මෙය ඔබට කොටු ගණන් කර මසා ගත හැකියි.

 

මේ නිර්මාණය කිරීමේදී වෙළෙඳපොළේ air issabel නමින් පෑනක් ඇත. එය මඟින් ද රෙද්දේ කොටු ඇඳ ගත හැකියි. එය පැය විසි හතරක් වැනි කාලයක් තුළ මැකී යයි. ඔබ කිසිවිටෙකත් කොටු වෙන්කිරීමට පෑනක් හෝ පැන්සලක් භාවිත නොකරන්න. මෙම නිර්මාණය සම්පූර්ණ කතිර මැස්මෙන් මසා ඇත.