මලක රුව ගේන දිග මල් ගවුම

පෙබරවාරි 5, 2024

අප ඇඳුමකට යොදා ගන්නා විලාසිතාව අනුව එයට ලස්සන පෙනුමක් ගෙන දෙන්න පුළුවන්. මේ ෆිෂ්ටේල් ගවුම් විලාසිතාවකි. මෙය ඔබේ සුන්දරත්වය තව තවත් වැඩි කරාවි.

 

අවශ්‍ය මිමි

* උරහිස = අඟල් 15

* කරවට = අඟල් 13

* පපුව දක්වා උස = අඟල් 10

* ඉණ දක්වා උස = අඟල් 15

* පපුවවට = අඟල් 33

* ඉණවට = අඟල් 27

* ඔපනැලි අතර පළල  = අඟල් 7

 

පතරොම සාදා ගැනීම සඳහා නැම්මට තබා ගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම් වාසි අඟල් 1/2ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1 3/4ක් පහත්කර A ලක්ෂ්‍යයට යා කරන්න. එය AC වේ.

කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මූලික කර අඳින්න. කරේ සිට අත් කටට අත් කට හැඩය අඳින්න.

E සිට පහතට පපුව දක්වා උස හා ඉණ දක්වා උස පහත්කර හරහට රේඛා අඳින්න.

අත්කට රේඛාවට උස සෙවීම සඳහා පපුවවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාවයි.

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුවවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න එය FG වේ.

ඉණවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට ඩාට් සඳහා එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ. GI යාකර අංශය අඳින්න. මැහුම් වාසි තබාගන්න.

අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂ්‍යය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍යය කැපීයන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳින්න.

ඔපනැලි අතර පළල දෙකට බෙදා එම පිළිතුර පපුව රේඛාවේ හරහට ලකුණු කරන්න. එය JK වේ. k සිට ඉණ රේඛාවට කෙළින් ඉරක් අඳින්න. එය KL වේ. ඩාට් පළල දෙකට බෙදා එම පිළිතුර L සිට දෙපසට ලකුණුකර Kට යා කරන්න.

 

පසුපස

පසුපස සඳහා බලවාටියේ ගන්න. බලවාටියෙ සිට අඟල් 1ක් වාසි තබා නැම්ම අඳින්න. ඉදිරිපස පතරොම නැම්ම මතින් තබාගන්න. ඉදිරිපස උරහිසට සමාන්තරව පසුපස උරහිස අඟල් 1ක් වැඩිකර ගන්න. කර ගැඹුර අඟල් 1 1/2ක් පමණ පහත්කර කපාගන්න.

 

අත

අත සඳහා රෙදි කොටස නැම්මට තබා ගන්න. ඉහළින් රේඛාවක් අඳින්න. නැම්මේ උඩ සිට පහතට කැප් උස පහත් කරන්න. එය AB වේ. හරහට රේඛාව අඳින්න. A සිට පහතට උස පහත් කරන්න. එය AC වේ. හරහට රේඛාව අඳින්න. එය වාටිය නැම්ම රේඛාවයි. වාටිය රේඛාව සඳහා මැහුම් වාසි තබා වාටිය රේඛාව අඳින්න. පතරොමේ අත්කට ප්‍රමාණය A සිට හැඩේට ලකුණු කරන්න. එය AD වේ. එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණුකර අත්කට වක්‍රය අඳින්න. අත අගවට ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි හා රැලි සඳහා එකතුකර වාටිය නැම්ම රේඛාවේ හරහට ලකුණු කරන්න. එය BE වේ. ED යා කරන්න.

 

ඉණවට අඟල් 27

උකුළවට අඟල් 36

උකුළ දක්වා උස අඟල් 7

දණහිස දක්වා

උස අඟල් 18

උස අඟල් 36

 

ෆිෂ්ටේල් සාය කොටස් කීපයකට නිර්මාණය කළ හැකියි. කොටස් 2 ,4,6,8 වශයෙන් කොටස්වලට කැපිය හැකියි.

මෙම සාය නිර්මාණය කර ඇත්තේ කෑලි 6ක් ලෙසටය. ඒ සඳහා අවශ්‍ය රෙදි ප්‍රමාණය ගෙන පහතට නවා පළල සමාන කොටස් 3කට නවන්න. එවිට කොටස් 6ක් ලැබේ.නැවතත් එය දෙකට නවන්න. එවිට කොටස් 12ක් ලැබේ. නැම්මට නවා තබාගන්න ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය ඉණ රේඛාවයි. ඉණ රේඛාවේ සිට පහතට උකුළ දක්වා උස, දණහිස දක්වා උස හා සම්පූර්ණ උස පහත්කර හරහට රේඛා අඳින්න.

ඉණවට ප්‍රමාණය 12න් බෙදා එම පිළිිතුරට මැහුම් වාසි එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ.

උකුළවට ප්‍රමාණය 12 බෙදා එම පිළිතුරට මැහුම් වාසි එකතුකර උකුළ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය CD වේ.

උකුළ පළුවක මිම්මෙන් අඟල් 1/2 අඩුකර ඉතිරි ප්‍රමාණය දණහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය EF වේ.

F ලක්ෂ්‍යය සිට වාටිය රේඛාවට කෙළින් ඉරක් අඳින්න. එය FG වේ. G සිට වාටියෙන් පිටතට අවශ්‍ය හැඩය සඳහා ඉඩ ලකුණුකර දණහිසට හැඩය අඳින්න.

අංශයෙන් කපාගන්න. පතරොම දිගහැර ගත් පසු ඉදිරිපසට කොටස් 3ක් හා පසුපසට කොටස් 3ක් ලෙස ගන්න. කොටස් එකින් එකට මැසීමේදී මැදින් එන කොටස් සඳහා උකුළ හැඩය ඉවත්කර මසන්න.

 

මැසීම

බ්ලවුසේ උරහිස මසන්න.

අත අල්ලා ගන්න.

 

සාය කොටස් එකින් එකට මසා ගන්න.

බ්ලවුසයට සාය අල්ලා ගන්න.

අංශය මසන්න.

වාටිය මසනන.