හැඩකාර මේ ගවුම හැඩට වැඩට අඳින්නයි

පෙබරවාරි 5, 2024

 

කාන්තාවක සතු ශක්තිය මෙපමණ යැයි කිව නොහැකි තරමට සුවිශාලයි. ඇයගේ හැකියාව ද එපමණය. එවන් හැකියාව ප්‍රයෝජනයට ගනිමින් තමන්ගේ ඇඳුම් තමන්ම මසා ගන්නේ නම් එය කොතරම් අභිමානයක් ද? ඔබේ ඇඟේ හැඩට මේ ගවුමත් මසාගෙන බලන්න. ඔබේ හැකියාවට ලැබෙන අගය කිරීම තවත් වැඩිවේවි.

අවශ්‍ය මිමි

*උරහිස = අඟල් 15

* කරවට = අඟල් 13

*පපුව දක්වා උස = අඟල් 10

* ඉණ දක්වා උස = අඟල් 15

* පපුවවට = අඟල් 33

*ඉණවට = අඟල් 27

*ඔපනැලි අතර පළල = අඟල් 7

 

රෙදි කපා ගැනීම

පතරොම සාදා ගැනීම සඳහා නැම්මට තබා ගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම් වාසි අඟල් 1/2ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1 3/4ක් පහත්කර A ලක්ෂ්‍යයට යා කරන්න. එය AC වේ.

කර වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මූලික කර අඳින්න. කර ගැඹුර පහත්කර රූපසටහනේ පරිදි අත්කට අඳින්න.

E සිට පහතට පපුව දක්වා උස හා ඉණ දක්වා උස පහත්කර හරහට රේඛා අදින්න.

 

අත්කට රේඛාවට උස සෙවීම සඳහා පපුවවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාවයි.

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුවවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න එය FG වේ.

 

ඉණවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට ඩාට් සඳහා එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ. GI යාකර අංශය අඳින්න. මැහුම්වාසි තබා ගන්න .

 

අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂ්‍යය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍යය කැපීයන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳින්න.

 

ඔපනැලි අතර පළල දෙකට බෙදා එම පිළිතුර පපුව රේඛාවේ හරහට ලකුණු කරන්න. එය JK වේ. k සිට ඉණ රේඛාවට කෙළින් ඉරක් අඳින්න. එය KL වේ. ඩාට් පළල දෙකට බෙදා එම පිළිතුර L සිට දෙපසට ලකුණුකර Kට යා කරන්න.

 

පසුපස

පසුපස සඳහා බලවාටියට ගන්න. බලවාටියේ සිට අගල් 1ක් වාසි තබා නැම්ම අඳින්න.ඉදිරිපස පතරොම නැම්ම මතින් තබාගන්න. ඉදිරිපස උරහිසට සමාන්තරව පසුපස උරහිස අගල් 1ක් වැඩිකර ගන්න. කර ගැඹුර පහත්කර කපා ගන්න.

 

සාය

ඉණවට අඟල් 30

උකුළවට අඟල් 38

උකුළ දක්වා උස අඟල් 7

උස අඟල් 18

 

සාය සඳහා නැම්මට තබාගන්න. ඉහළින් හරහට රේඛාවක්් අඳින්න. එය ඉණ රේඛාවයි. ඉණ රේඛාවේ සිට පහතට උකුළ දක්වා උස හා සම්පුර්ණ උස පහත්කර හරහට රේඛා අඳින්න.

 

ඉණවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි අඟල් 1/2ක් එකතුකර ඉණරේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ.

උකුළවට ප්‍රමාණය හතරෙන් ෙබදා එම පිළිතුරට මැහුම් වාසි අඟල් 1/2ක් එකතුකර උකුළ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය CD වේ.

CD මිම්මෙන් අඟල් 1 1/2ක් පමණ අඩුකර වාටිය රේඛාවේ ලකුණු කරන්න. එය EF වේ.

පසුපස පතරොමද ඉදිරිපස ආකාරයටම කපා ගන්න. ඉණට හා වාටියට මැහුම් වාසි තබා කපාගන්න.

 

ඉදිරිපස පැත්තට විවරය ඇති නිසා පතරොම දිගහැර දකුණු පැත්තේ මැදින් පහතට වෙන් කරගන්න.

 

මැසීම

 

* ඩාට් මසන්න. * බ්ලව්සයේ

අංශය මසන්න.

* විවරය තබා ඉතිරි කොටස මසන්න.

* සාය අල්ලාගන්න.

* සිපරය අල්ලා දෙපස අංශය මසන්න.

* කරට උර පටි තබා පේශින් * අල්ලාගන්න.

වාටිය මසන්න.