මෙහෙම ඇඳන් ගියොත් හැමෝම ඔයා දිහා බලයි

මාර්තු 11, 2024

හැමෝම ආසයි ලස්සන අඳින්න පලඳින්න. මේක ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම පොදුයි. ඒත් වර්තමානයේ පවතින ආර්ථිකයත් එක්ක තම රුචි අරුචිකම්වලට ඉඩ දෙන්න අපහසුයි. කාන්තා ඔබ උපක්‍රමශීලිව මේ ආර්ථික සටන ජයගන්න කටයුතු කිරීම තමයි වැදගත්ම දේ. ඔබටත් ඉන්නේ යොවුන් දියණියක් නම් අැය හැඩ කරන්න මේ ගවුම කදිමයි.

ගැළපෙන රෙදි කොටසක් වගේම ඇය රුචි වර්ණයක් ගෙන මේ ඒ ලයින් සාය සහිත ගවුම මසා දෙන්න. සැදෑ සාදයකට කදිමයි.

බ්ලවුසය සඳහා මූලික පතරොමක් ආකාරයට නොව පතරොම මඳක් ලොකුවට ගෙන ඇත. ඒ සඳහා සරල ක්‍රමයක් භාවිතකර ඇත. ඔබට බ්ලවුසය සඳහා අවශ්‍ය උස මෙන් දෙගුණයක් රෙදි ගන්න. එය පහතට දෙකට නවා නැවත හරහට නවන්න. මැද සිට කර සඳහා අවශ්‍ය හරස් මිම්ම ලකුණු කළ යුතුයි. එය A ලක්ෂ්‍යය වේ. මැද සිට පහතට අවශ්‍ය කර ගැඹුර පහත් කරගත යුතුය. AB ලක්ෂ්‍යය වේ. AB යාකර අවශ්‍ය කර ගැඹුර ඇඳගන්න.

අත්කට සඳහා අවශ්‍ය උස ලකුණුකර C ලක්ෂ්‍යය ලකුණු කරන්න. D ලක්ෂ්‍යයට ඉණ මෙන් හැඩකර ඇඳ ගන්න.

 

ඒ ලයින් සාය

ඉණ වට අඟල් 30

උකුළ වට අඟල් 38

උකුළ දක්වා උස අඟල් 7

උස අඟල් 38

 

රෙදි කපා ගැනීම

සාය සඳහා නැම්මට තබාගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය ඉණ රේඛාව යි. ඉණ රේඛාවේ සිට පහතට උකුළ දක්වා උස හා සම්පූර්ණ උස පහත්කර හරහට රේඛා අඳින්න.

ඉණ වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට ඩාට් සඳහා අගල් 1 1/2ක් ද මැහුම් වාසි අඟල් 1ක් එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ.

උකුළ වට ප්‍රමාණය හතරෙන් ෙබදා එම පිළිතුරට මැහුම්වාසි අඟල් එකක් එකතුකර උකුළ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය CD වේ.

D සිට වාටිය රේඛාවට කෙලින් කඩඉරක් අඳින්න. සාය සඳහා අවශ්‍ය ඉඩ ලකුණු කර උකුළ මිම්මට යා කරන්න

ඩාට් ලකුණු කිරීම සඳහා ඉණ මිම්මේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. ඩාට් උස සඳහා අඟල් 5ක් පමණ පහතට අඳින්න. ඩාට් පළල දෙකට බෙදා දෙපසට ලකුණුකර ඩාට් එක අඳින්න.

පසුපස පතරොම සඳහා බලවාටියට තබාගන්න. බලවාටියේ සිට අඟල් එකක් හෝ අඟල් දෙකක් ලකුණු කරන නැම්ම රේඛාව අඳින්න. නැම්ම රේඛාවේ සිට ඉදිරිපස පතරොමේ ගානට කපා ගන්න.

 

ඉණ පටිය

ඉණ වට ප්‍රමාණය මැන ගන්න. එම ප්‍රමාණයට මැහුම්වාසි තබා දිග ද උස අඟල් 4ක් ලෙස කපාගන්න .

 

මැසීම

බ්ලවුසයේ කරට පේසිමක් අල්ලා ගන්න.

අත්කට හා අංශය මසන්න.

සායේ ඩාට් මසන්න.

පසුපසට සිපරය අල්ලා දෙපස අංශය මසන්න.

ඉණ පටිය අල්ලාගන්න.

වාටිය මසන්න.

 

උපදෙස් -

මැහුම් නිර්මාණ ශිල්පිනී

දිලූෂි දසනායක