සැඳෑ සාදයට සුගන්ධවත් මල් රාමුවක්

මැයි 6, 2024

හැම මොහොතක්ම ගත වෙනවා. පසු වෙනවා. කවදාවත් වෙලාව එක තැන නැවතිලා නැහැ. ඔයාට දැනෙනවාද කිසිම දෙයක් වෙනස් නොවී පවතින්නේ නැහැ කියලා. සෑම තත්පරයක්ම ගෙවෙනවා. හැමදේම වෙනස් වෙනවා. ඔයා දැන් කොච්චර දුකෙන් හිටියත්, ඔයා දුකෙන් ඉන්න කාලය අඩු වෙනවා. නැතිවෙනවා. හැමදේම හරි යනවා.

 

ඉතින්... තාම අවුරුදු උණුසුමේ කාලය ගත වෙනවා ඇති නේද? කැවිලි පෙවිලි ටික ටික ඉවර වෙලා යන, නෑදෑ හිතමිතුරන් බැහැදකින කාල සීමාවක් ගෙවිලා යන්නෙ මේ.

 

කාලගුණයත් වෙනස් වෙලා. දිගටම තද සුළං කුණාටුව වගේ හමන ඒ සුළං රැල්ලත් එක්කම හිටි ගමන් ඇද හැළෙන වැස්සත් නිසා දවසේ කාලගුණය ගැන තියෙන්නෙ අපැහැදිලි දැක්මක්.

 

ඒත් ඒ අතරත් දේදුන්නක අසිරියත් විඳින්න අපි ලැහැස්ති විය යුතුයි. අව්ව, වැස්ස, සුළඟ එක්ක හිටි හැටියෙ වෙනස් වෙන ජීවිතයට අපි හුරු විය යුතුයි.

කොහොම කොහොම හරි අවුරුදු දවස් ගෙවිලා ගියා. සතුටු සිිතින් සමරන දවස්වල එකතුවක් ජීවිතයට සැනසීමක්. දින, සති ගෙවිලා යනවා දැනෙන්නේ නැහැ. ඔන්න ඉතින් පින්බර මැයි මාසෙත් ළඟ ළඟම එනවා.

 

මේ හැම සැමරුමක්ම වියළි මලින් සරසා ගත හැකියි. එය එසේ නිර්මාණය කරගැනීමට ආදරණීය ඔබ දක්ෂ විය යුතුයි.

 

අපිට හොඳ Vision එකක් තිබිය යුතුයි. හැම බැඳීමකටම ආදරණීය Vision එකක්. කොහොමත් මල් හා බැඳි ඔබේ ජීවිතය හරිම ආදරණීයයි. ඉකුත් ජනවාරි පළමු වැනිදා පටන් ඇරැඹි වියළි මල් කලාවේ ප්‍රවේශය ඔස්සේ මේ ගෙවුණු වකවානු ගැන ඔබ තෘප්තිමත් ඇති. මේ වන විට සැරිසරපු මතක සැමරුම් අතර විවිධ නිර්මාණ ඔබ අතින් බිහිවෙන්නට ඇති. මොහොතක් හිතන්න. මේවා ඔබ වෙළෙඳපොළෙන් මිල දී ගත්තේ නම් කෙතරම් මිලක් වැය වේවිද? එහෙත් අප අවට පරිසරයෙන් අමුද්‍රව්‍ය සොයා ගනිමින් කළ මේ නිර්මාණ පෙළ ගැන හිතනකොටත් ඔබට තෘප්තියක් නැඟෙයි. තරුණී, අපේ බලාපොරොත්තුවත් එයමයි. ඔබ පුංචි ව්‍යවසායකයෙක් වී ජීවන බරෙන් නිදහස් කිරීමයි.

 

මෙවර නිර්මාණය සඳහා වියළි මල්, කොළ, අතු, ඉති වගේම අවට පරිසරයේ ඉවත දමන අමුද්‍රව්‍යයන් ප්‍රමාණයක් භාවිතකර තිබේ. ඔබ නිවෙසේ ඉවත දමන කාඩ්බෝඩ් කැබැල්ලක් නැවත පාවිච්චි කරන්න හිතන්නේවත් නැති තරම්. මෙලෙස තෝරාගත් කාඩ්බෝඩ් කැබැල්ල ඉරි තැළී නොගිය එකක් විය යුතුයි. එහි ඝනකම සඳහා එවැනි කාඩ්බෝඩ් කැබැලි දෙකක් යොදා ගන්න. පළමුව නිර්මාණය කිරීමට අවශ්‍ය රවුමේ විෂ්කම්භය තීරණය කරන්න. වටු කුරුලු බිත්තර කටු හෝ ඒ හා සමාන රබර් ඇට නිර්මාණයට ඉහළ පෙනුමක් එකතු කරයි. මුලින්ම ග්ලූගන් යොදාගෙන රවුම වටේම පුරවා ගැනීම ආරම්භ කරන්න. රිබන් පටියක් අලවා ඒ උඩින් තෝරාගත් වටු කුරුලු බිත්තර කටු හෝ රබර් ඇට එක උඩ එක සිටින සේ අලවාගන්න.

 

මේ රවුම හැඩකර ගැනීමට බේබි ස්බ්‍රෙත් මල් හෝ වෙනත් වියළා ගත් මල් කිනිති භාවිත කළ හැකියි. කෙසේ නමුත් ඔබ මීට පෙර ඉගෙනගත් වර්ණ සංකලනය ගැන මෙහිදී නැවත මතකය ආවර්ජනය කරගත යුතුය. මෙම නිර්මාණය සැඳෑ කාලයේ සිදු කෙරෙන සාදයකදී බිත්ති හැඩකර ගැනීමට, දොර හැඩකර ගැනීමට ප්‍රයෝජනවත්. එබැවින් කුමන හෝ නිර්මාණයක් සිදු කිරීමේදී එය ඔබ යොදාගන්නා කාලය උදෑසන, දහවල්, සැඳෑ කාලයේ හෝ රාත්‍රී කාලයේ ද යන වග කල්තියා දැන ගන්න. ඒ පරිසර සාධකය වර්ණ සංකලනයේදී බෙහෙවින් වටී.

 

නිර්මාණය උත්සව අවස්ථාවක් හැඩ කරන්න යොදාගන්නේ නම් සුවඳවත් කරන්නත් හැකියාව පවතී. ඒ සඳහා සුවඳ හඳුන්කූරක්, ඉටිපන්දමක් යොදාගත හැකියි. සුවඳ කල් පවත්වා ගැනීමට අවශ්‍ය නම් වාර්නිෂ් ස්ප්‍රේ කිරීමේදී සුවඳකාරකයක් එකතු කරගන්න අමතක කරන්න එපා.

 

අපි ඔබට මේ නිර්මාණකර සුගන්ධවත් ලෙස සකසාගන්නා අන්දම ළඟදීම ලබාදීමට සූදානම්.

 

 

උපදෙස්:-

ධනංජය ෆ්ලෝරා අධිපති ප්‍රවීණ මල් සැකසුම් ශිල්පී

සමන් ජයලත්