වර්ෂ 2024 ක්වූ December 09 වැනිදා Monday
හීතල හිම පියල්ලක රෙසින් සිරියාව
හැමෝම බලාගෙන ඉන්නේ ඒ අසිරිමත් සීතල දෙසැම්බරය උදාවෙනකල්. මොකද මේ දෙසැම්බර් මාසය හැදිලා තියෙන්නෙම නිකම් නිකම් දවස්වල එකතුවකින් නොවෙයි, හැඟීම් ගොඩක එකතුවකින්. පිනි මුවන්, නත්තල් සීයා, ගවලෙන, ඉඟුරු පාන්, සීත හිම පියලි, පුංචි පුංචි රස කැවිලි, නත්තල් ගහ මේ හැම දේකින්ම මතක් කරන්නේ මේ ගෙවෙන අවුරුද්දේ ලස්සනම මාසය පටන් ගන්නවා කියලා.
මේ නත්තල් සීතලේ, අත්තම්මාගෙ පුංචි පෝරණුව වටේට ඉඳගෙන උණුසුම් වෙනගමන් නත්තල හැඩ කරන හරි අපූරු පුංචි සැරසිලි හදන්නත් අපේ අය අමතක කරන්නේ නැහැ. ඉතින් මෙදා සැරේ අසිරිමත් නත්තලට නත්තල් ගස තවත් හැඩ කරන්න පුංචි රෙසින් නිර්මාණ කිහිපයක් ගෙන එන්න හිතුවා.
රෙසින් නිර්මාණ ගැන මින් පෙර අවස්ථා ගණනාවකදීම තරුණී පුවත්පත හරහා කතා බහ කර ඇති නිසා ඔබට දැන් මේ කලාව ගැන හොඳ අවබෝධයක් ලැබෙන්නට ඇති. රෙසින් නිර්මාණයක වැදගත්ම දෙය මිශ්‍රණය සකස් කිරීමත් නිර්මාණාත්මක හැකියාවෙන් ප්‍රයෝජනයක් ගැනීම.
රෙසින් මිශ්‍රණය සැකසීමේදී රෙසින් සහ හාඩ්නර් යන රසායනික දියර වර්ග දෙක, එකට මිශ්‍ර කිරීම කළ යුතුයි. ඒ සඳහා රෙසින් කප් එකක් ගෙන එයට රෙසින් සහ හාඩ්නර් 2:1 අනුපාතයට දමාගෙන හොඳින් මිශ්‍ර කරගන්න. මෙය මිශ්‍ර කර ගත යුතු වන්නේ එක් පැත්තකට වන ලෙසය. නැත්නම් මිශ්‍රණයේ වායු බුබුළු මතුවීමෙන් ගුණාත්මක නිර්මාණයක් කර ගැනීමට නොහැකි වේවි.
මෙසේ විනාඩි 2-3ක් මිශ්‍ර කරන විට වතුර මෙන් පිරිසුදු විනිවිද පැහැයක් පැමිණුන විට එය හොඳින් මිශ්‍ර වී ඇති බව හොඳින් වැටහේවී.
නත්තල් ගස සැරසීමට යොදා ගන්නා නිර්මාණ නිසා අපි මෝල්ඩ් කිහිපයකින් හැඩතල කිහිපයක් තෝරාගෙන තිබෙනවා. එහිදී නත්තල් තේමාවට ගැළපෙන හැඩතල සහිත මෝල්ඩ් එකක් ඔබට තෝරා ගත හැකියි. ඒ වගේම ඔබ තෝරා ගන්නා නත්තල් ගසේ ප්‍රමාණය ගැනත් එහිදී තරමක් සිතිය යුතුය. තරමක් විශාල නත්තල් ගසකට එයට ගැළපෙන ප්‍රමාණයේ මෝල්ඩ් එකක් තෝරා ගන්න.
ඉන්පසු කුඩා කප් කිහිපයක් ගෙන රෙසින් මිශ්‍රණයෙන් කොටස බැගින් ඒවාට එකතු කරන්න. දැන් මෝල්ඩ් එකේ හැඩතල නිර්මාණය කිරීමට අවශ්‍ය වන වර්ණ මේ රෙසින් මිශ්‍රණ සහිත කප්වලට එකතු කර ගත යුතුයි. ඒ සඳහා කොළ, රතු, රන් වැනි වර්ණවලින් පික්මන් වර්ණක ගෙන එක් එක් කප්වලට එකතුකර ගන්න. දැන් එම කප්වලට කොළ, රතු සහ රත්රන් වර්ණවලින් චන්කි ග්ලිටර් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. මෙහිදී රෙසින් මිශ්‍රණය එකතු කර ගත් ප්‍රමාණයට වඩා චන්කි ග්ලිටර් තරමක් වැඩිපුර එකතුකරගන්න. එවිට මේ මිශ්‍රණය අපට අවශ්‍ය වන ආකාරයට තරමක් ඝන ස්වභාවයකින් ලබා ගත හැකියි.
ඉන්පසු මෝල්ඩ් එකට ගැළපෙන පරිදි මේ මිශ්‍රණ එකතු කර ගන්න. පැය 4-5ක් ගිය පසු මෝල්ඩ් එකෙන් ගලවා ඉවත්කර ගන්න. අවසානයට ගෝල්ඩ් කෝඩ් එකක් ඒවායේ කෙළවරට සම්බන්ධ කර ගන්න. මේ ගෝල්ඩ් කෝඩ් එක සම්බන්ධ කර ගන්න කලින් ඔබව අවශ්‍ය නම් රතු හෝ කොළ වර්ණ බෝ එකක් සම්බන්ධ කර ගැනීමෙන් තවත් හැඩ කර ගන්න පුළුවන්.