ජීවිතයම අවුල් කරන අපිළිවෙළ නිවෙස

මැයි 29, 2019

ඔබේ නිවෙස තුළට පැමිණෙන, එහෙම නැත්නම් නිවෙස තුළ සැරිසරන ශක්තියේ ගමන කිසිම විටෙකදීවත් නතරවීමට හෝ ඒ ගමන අවහිර වීමට කොයිම අවස්ථාවකවත් ඉඩ නොදීමට ඔබ වගබලා ගත යුතුයි.

ඒ ශක්තියේ ගමන දිගටම පවත්වාගෙන යෑමට හොඳම ක්‍රමය නම් තමන් සතු පරණ දේවල් වන බෑග්මළු, සපත්තු, සෙරෙප්පු, පොත්පත්, සුළු සුළු ආභරණ, පරණ ඇඳුම් පැලඳුම් පමණක් නොව ගෘහභාණ්ඩ වුණත් තවත් කෙනකුට පරිත්‍යාග කිරීමයි.

ඔබේ අල්මාරිය සහ පාවිච්චි කරන පෙට්ටගම් ආදිය ඇවිස්සුවොත් ඔබ පාවිච්චි නොකරන පරණ දේවල් කොච්චරක් නම් තියෙනවා විය හැකි ද? සමහර විට ඔබ ඒවා එකතු කරන්නේ මහා අනර්ඝ වස්තූන් විදියට වෙන්නත් ඇති.

සමහරු ඒවා එකතු කරන්නේ තවත් කෙනකුට දෙන්නට ඇති ලෝබකමට. එකතු කරන්නේ මසුරුකමට. දරුවකුගේ කැඩිච්ච සෙල්ලම් බඩුවක්වත් නැවත හරිගස්සලා තවත් දුප්පත් දරුවකුට දෙන්නවත් කැමැති නෑ.

නමුත් ඔබ දන්නවාද? ඔබගේ පරණ දේවල් මෙසේ දෙනවිට ඇත්තවශයෙන්ම සිදුවන්නේ ඔබගේ ගබඩා කාමරයේ, ඔබගේ අල්මාරියේ, එසේත් නොවේනම් ඔබගේ පෙට්ටගම්වල, රාක්ක, ලාච්චු සහ කාමරවල හිස් අවකාශයක් ඇති වීමයි.

ඒ හිස් අවකාශය සපිරීමට කිසිදු අප්‍රමාදයකින් තොරව, අලුත් අලුත් දේවල් ඔබට එකතු වෙනවා.

උවමනාවට වඩා ඔබගේ නිවෙස තුළ ඇති යම් යම් දේවල් ඉවත් කිරීම යනු, තදබදයෙන් ඔබ මුදවා හැරීම බව මතක තබාගන්න. ඔබ විසින් කළයුතු වන්නේ ඔබට ද ප්‍රයෝජනවත් නැති, පරණ, ඉරීගිය, යල් පැන ගිය දේවල් ඉවත් කිරීම පමණක් නොවේ.

ඔබ සතු තවමත් හොඳ යැයි සැලකිය හැකි එහෙත් සමහරවිට මේක කවදා හෝ ඔබට යළි ප්‍රයෝජන වනු ඇතැයි සිතා ඔබ විසින්ම එකතු කරන දේවල් වුවද මෙසේ තවත් කෙනකුට ප්‍රයෝජනයක් විය හැකි යැයි නිර්ලෝභීව සිතා ඒවාද පරිත්‍යාග කරන්න.

වෙනත් වචනවලින් කියන්නේ නම් ඔබ සතු දේවල් අන්‍යයන් සමඟ බෙදා ගැනීමයි. එහිදී එයින් ඔබට වාසි දෙකක් සැලසෙනු ඇත. එකක් නම් ඔබගේ නිවෙසේ ඇති තදබදය අඩුවී ශක්ති ගලනයක් යළි සිදුවන අතර අනිත් කාරණය වන්නේ ඔබ කිසියම් වූ පුණ්‍ය කටයුත්තකට ද සහභාගී වීමයි.

මෙහිදී ඔබ සැලකිල්ලට ගතයුතු වන්නේ තවත් අයකුට පරිහරණය කිරීමට නොහැකි තරමටම අබලන් වූ, අවර්ණ වූ, ඉරීගිය දේවල් නොදීමයි.

මෙහිදී ඔබගේ ජීවිතය තුළට නැවුම් වූද අලුත් වූ ද ශක්තිය ගලාගෙන එන අතර එයින්ම ඔබේ හිස් වූ අවකාශයන් ඇති නිවෙසද පිරෙනු ඇත. නව ශක්තිය අනුව හිඩැස පිරවීමට ඔබට අලුත් අලුත් දේවල් ලැබෙනු ඇත. නව ශක්තිය, නිවෙසේ ගලාගෙන යද්දී එය වාසනාවේ සලකුණක් බවද ඔබටම වැටහෙනු ඇත.

ඔබගේ ජීවිතයේ අලුත් දියුණුවීම්වලට ඉඩකඩ ඇති කරලීමට ඔබට වුවමනා නම්, ඔබට තවදුරටත් තේරුමක් නැති යැයි හැඟෙන්නාවූ දේවල් හෝ ඔබගේ සිතට අනවශ්‍ය යැයි සිතෙන සියලු දේවල් විසිකර දමන්න.

ඔබ ලැගුම් ගන්නා කාමරයේ ද, ඔබගේ නිවෙසේ මුළුවල ද එකතු වී ඇති සුන්බුන් ගැන සොයා බලන්න. මෙම ස්ථාන කෙරෙහි ඔබගේ විශේෂ අවධානය යොමු කරන්න. මෙහිදී ෆෙංෂුයි නීතිවලට අනුකූලව පරණ දේවල් ඉවත්කර දැමීමෙන් අලුත් දේවල් සඳහා ඉඩ සැපයීමේ ක්‍රියාවලියට මුල පුරන්න.

උදාහරණයක් වශයෙන් ඔබට අවශ්‍ය වී ඇත්තේ ප්‍රේමය හෝ අලුත් සම්බන්ධතාවක් නම්, ඔබගේ කාමරයේ නිරිත දිග මුල්ල පිරිසුදු කර ලට්ට ලොට්ට ඉවත්කර, ඔබ කැමැති නම් මැන්ඩරින් තාරාවන් යුවළක් වැනි ප්‍රේම සංකේත එතැන තබන්න.

 

2019/05/29 තරුණි බලන්න