ලග්න පලාපල

පෙබරවාරි 10, 2021

රවි කුම්භ රාශි ගතවේ විෂමතා තුළින් සමතා මතුවේ

 

 

රවි ග්‍රහයා 2021 පෙබරවාරි 12 වන රවි දින 21.12 ට පමණ රවි හිමි කුම්භ රාශි ගතවෙයි.

රවි කුම්භයට සතුරු වූවේ වන අතර වසරකට වරක් මෙම රාශි සංක්‍රමණය විශේෂයෙන් කුම්භ ලග්නය හිමි ශ්‍රී ලංකා කේන්ද්‍රයට අනුව හදිසි අනතුරු මෙන්ම ජනයා අතර සුහදශීලී බව ගිලිහෙන එදිරිවාදිකම් නොහොඳ නෝක්කාඩු අසමගිතා හා වැඩ වර්ජන ආදිය සිදුවන වකවානුවක් වෙයි. එහෙත් ඒ කිසිවකින් නොසැලෙන පාලක පක්ෂයේ නිවැරැදි හා ජනතාවට අහිතකර නොවන ශක්තිමත් තීන්දු තීරණගෙන කාගේත් සුහදත්වය දිනා ගැනීමට සමත් වෙයි.

කඩාකප්පල්කාරී ක්‍රියා ලත් තැනම ලොප්වන තත්ත්වයක් මෙන්ම මෙරට පැවැති බෝවන රෝග වසංගත තත්ත්වය යම් තරමකින් හෝ අඩාලවන වාතාවරණයක් උදා කෙරේ. මෙහිදී කුම්භ ලග්නය සහිත ලංකා කේන්දයේ 12 වැන්නේ බුධ - ගුරු - ශුක්‍ර – ශනි චතුර් යෝගව පවතින විදේශාධාර - විදේශ සහය ඇති කෙරෙන අතර විදේශීය වශයෙන් බලපාන අනිසි අතපෙවීම් සියල්ල හිරු දුටු පිනිමෙන් විනාශ වනු ඇත. පුද්ගල මතවාද අනුව තම ආගමික සහජීවනයට අනුව යහපත් සිතුම් පැතුම් සහිතව කටයුතු කරන අයට යහපත උදාවනු ඇත. ඉදිරියේදී විවිධ පාරිසරික බලපෑම් අනුව ජල ගැලීම්, නාය යාම්, වාහන අනතුරු මෙන්ම ගුවන් යානා අනතුරු පවා එළඹිය හැකි නමුත් ඒවායින් සිදුවන ජීවිත හානි නම් අවම වේ. දේපල හානි මිස ජීවිත හානි අවම කරන මෙම හදිසි ආපදා විටින් විට අපට අසන්නට දකින්නට සිදුවුවත් මාර්තු මාසයේ 14 න් පසු ඒ සියල්ල සමනය වී යහපත් කාල පරිච්ඡේදයක් රටට ලෝකයාට උදාවීමට නියමිතය. එනමුදු සහජීවනය, ලෙඩරෝග අවමවීම හා නව ජීවනෝපාය ක්‍රම තුළින් මිනිසා නැවුම් ජීවන රටාවකට යොමුවන වකවානුවක් වෙයි. ප්‍රවේශම් සහගත ජීවන රටාව හුරුවන මිනිසාට ඒ තුළින්ද විවිධ අයුරින් කරලියට එන ඖෂධ එන්නත් තුළින්ද සහජීවනය පිණිස කටයුතු උදා කරගත හැක.

 

 

මේෂ ලග්නය

විදේශගත ආයෝජන

 

මේෂ ලග්නය හිමි ඔබට මේ සතිය ආරම්භයේ කිසියම් ආර්ථිකයේ අලාභයක් ඇතිවිය හැකියි. සතිය මැද සිට ඒ තත්ත්වය මඟහැරෙනු ඇත. පිටරටකට යාමට බලාපොරොත්තු අයට පිටරට ගමන් පිළිබඳව තිබූ අවහිරතාව අවසන්වනු ඇත. විදේශගත ආයෝජනයකට හේතුයි. දණහිසට අගුණයි. කුසේ උෂ්ණගති ඇතිවෙයි. කුසට විෂබීජ ඇතුළුවීමට පුළුවන. සුපරික්ෂාකාරි වුවහොත් ප්‍රවේශම ඇතිවේ. දරුඵල අපේක්ෂා කරන කාන්තාවන්ට කාලය සපිරී ඇත්නම් සිසේරියන් සැත්කම් පවා එළැඹීමට පුළුවන.

වෘෂභ ලග්නය

රැකියා ගැටලු

වාෂභ ලග්නය හිමි ඔබට මෙම සතිය සුබවාදී වෙයි. රැකියාගත මත ගැටුම් ඒමට පුළුවන. ප්‍රධානීන් සමඟ මතභේද ඇති කර නොගන්න. එසේ වුවහොත් එය දිගින් දිගටම ගැටලු ලෙසින් යා හැකිය. කෙසේ නමුදු පෙබරවාරි 12 වැනි දින රවිගේ ගමන අනුව ද එය රැකියාවට අනිසි බලපෑම් ඇති කරයි. ආර්ථික අතින් සුබ වේ. දේපළ හිමිකමකට ද ඉඩ ඇත. දණහිස ආශ්‍රිත උවදුර ගෙනේ.

මිථුන ලග්නය

අනාගත සැලසුම් සැලසේ

 

මිථුන ලග්නයට අනුව ඔබට ඉදිරි සතිය සුබ අසුබ සමසේ බුක්ති විඳීමට සිදුවෙයි. ආරම්භයේ හදිසි අනතුරු සහගත තත්ත්වයක් පෙන්වුවද රැකියා ස්ථානගත අභිවෘද්ධිය යහපත් ලෙස සිදුවන ස්ථානමාරු මෙන්ම ධන ලාභ පෙන්වයි. තම ඥාති පාර්ශ්වයෙන් විරෝධතා එල්ල වුවද තමා නමින් ඉඩමක් නිවෙසක්, වාහනයක් වැනි භෞතික සම්පත් මිලදි ගැනීමට යාමට හැකියි. ගෘහ ජීවිතය අවිවේකී සහගත වුවද අනාගත අභිවෘද්ධිය සඳහා විශාල වැඩකොටසක් සංවිධානය කිරීමට හැකි වේ.

කටක ලග්නය

ඉරණම්කරු ඔබ සොයා එයි

 

කටක ලග්නයට අනුව ඔබගේ ජීවිතය සතුටුදායක තත්ත්වයට පත්වේ. අවිවාහක අයට මංගල යෝජනා ආදර සබඳතා ඇති කෙරේ. විවාහ මංගල උත්සවයක් වැනි දේකට සහභාගි වී සිටින මොහොතක ඔබගේ ඉරණම්කරු ඔබ කරා එයි. ඒ සඳහා සුදුසු තීන්දු තීරණ ගැනීමට ඔබට ශක්තිය ලැබේ. මුත්‍ර ආබාධ - යටි බඩ තුනිටිය ආශ්‍රිත රෝග මතු කෙරේ. තමා සැලසුම් කරගෙන ආ කටයුතු කඩාකප්පල් කිරීමට පිරිසක් සූදානම් වී තිබුණ ද ඒ අයගේ උත්සාහය නිරර්ථ වේ.

සිංහ ලග්නය

අධ්‍යාපනයෙන් ඉහළට

සතිය ආරම්භයේ සිටම සිංහ ලග්න හිමි ඔබ කිසියම් ශක්තිමත් තීන්දු තීරණ කීපයක් ගනු ඇත. ඒ ආර්ථික වශයෙන් ව්‍යාපාර හා අධ්‍යාපනික අංශයෙන් ආගමික කටයුතුවල නියැලෙමිනි. ඉගෙන ගන්නා වයසේ නම් ඔබ හොඳ අධ්‍යාපන ප්‍රතිඵල උදාකර ගන්නා හෝ රැකියාමය මට්ටමෙන් නම් සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ඉහළින්ම සමත් වෙයි. සැර උෂ්ණ ආහාර පාන අවම කරන්න.

කන්‍යා ලග්නය

ව්‍යාපාරයක් අරඹයි

කන්‍යා ලග්නය හිමි ඔබ මෙම සතිය සුබ සතියකි. දරු සම්පත් පතන අයට දරු සම්පත් ද යහපත් ආයෝජන අතහැර දමා තිබූ ව්‍යාපාරයක් යළි ආරම්භ කිරීමට ද කටයුතු සැලසේ. මුත්‍ර දෝෂ හා මුත්‍රගල් පවතින අයට සතිය ආරම්භයේ ශල්‍යකර්ම සිදු කිරීමට ඉඩ ඇත.

කෙසේ නමුදු තම කටයුතු ක්‍රමවත්ව කරගෙන යාමටත් අන් අයගේ ඇප උපකාර ලැබීමටත් ඔබ වාසනාවන්ත වෙයි.

තුලා ලග්නය

නිර්මාණශීලී ව්‍යාපාරවල පල

තුලා ලග්නය හිමි ඔබට මේ සතිය අන් සෑම එකකටම වඩා සුබවෙයි. වාහන, ඉඩම්, නිවාස හිමිකම ද, ශක්තිමත් ව්‍යාපාර තත්ත්වයක්ද පෙන්වයි. තමාගේ දෑතේ පළපුරුද්ද අනුව කලාත්මක කටයුතු වෙත ඇලුම් කිරීමක්ද රූපලාවණ්‍ය කටයුතු වැනි කටයුතුවල උසස් ප්‍රතිලාභ ලද හැකි සතියකි. අන් අයගේ ඇගයුමට ප්‍රසාදයට පත්වනු ඇත. තම වාසියට වඩා අන් අයගේ හිතසුව පිණිස ඇප කැප වන සතියකි.

කුස ආශ්‍රිත රෝග ඇතිවිය හැකියි.

වෘශ්චික ලග්නය

ලියකියවිලි වල දොස්

වෘෂ්චික ලග්නය හිමි ඔබට මේ සතිය වඩාත්ම සුබවාදී වෙයි. එය දේපළ සම්බන්ධ හිමිකම් ඇති කරවන්නකි. ලියකියවිලි වලට අත්සන් තැබීමේදී හෝ ණය මුදලක් ඇපකරුවකු ලෙස අත්සන් කිරීමේදී කල්පනාකාරි වන්න. පපුවේ වියළිගති මතු කිරීම නිසා විවිධ පරීක්ෂණ කීපයකට භාජනය විය යුතු වුවද එය කාලානුරූප අකාමකා යනු ඇත. සිය ඥාති පාර්ශ්වයේ අය උදව් නොඅඩුව ලැබෙන සතියකි.

ධනු ලග්නය

නඩුහබවලින් ජය

ධනු ලග්නයට අනුව මේ සතියේ ඔබ එඩිතර තීන්දු තීරණ කීපයක් ගන්නා අතර එය සුබවාදී ලෙස සාර්ථක වනු ඇත. ලොතරැයි ජයග්‍රහණ හා අන් අයගේ දේපළ තමාට හිමි වන ලකුණු පෙනේ. නඩුහබ හෝ වෙනයම් නීති ගැටලුවක් නිරාකරණය වන සතියකි. උරහිස ආශ්‍රිත උවදුරු, උගුරේ ආසාදන නිසා පිඩා ඇති කෙරේ. කිසියම් රැවටිලි සහගත උපක්‍රමශීලී සහගත තත්ත්වයකට ලක්වීමෙන් පාඩු සිදුවිය හැකිය.

 

මකර ලග්නය

ජලාශ්‍රිත කටයුතුවලින් අනතුරු

මකර ලග්නයට අනුව මේ සතිය නිර්මාණශීලී මනසක් ඔබට හිමිවෙයි. ක්‍රමවත් බව නිසා බොහෝ පැවැති බාධක මඟහැරේ. ඔබ රංගනය, නර්තනයට දක්ෂ අයකු නම් කැපී පෙනෙන දක්ෂතා මතු කර අන් අයගේ ප්‍රශංසාවට ලක්වනු ඇත. ජලය ආශ්‍රිත උවදුරු ඇත. ජලාශවල බැස නෑම වැව් අමුණුවල ජල ක්‍රීඩා කිරීම ප්‍රවේශමෙනි. සීතල ආහාර පාන ද අවම කරන්න.

කුම්භ ලග්නය

දැඩි කෝපය පාඩු ගෙන දේ

 

කුම්භ ලග්නය හිමි ඔබට තම අධික කෝපයෙන් උවදුරු ඇතිවිය හැකි නිසා කල්පනාකාරි වන්න. ඉවසීම, සමානාත්මතාව වැදගත්ය. තම සහයට කටයුතු කරන සේවකයකුගේ නොමනා කටයුතු නිසා පාඩු ඇතිවීමට පුළුවන. තමාගේ සහකරු හෝ සහකාරිය අතර ගැටලු ඇති කිරීමට පිරිසක් උත්සාහ ගන්නවා වන්නට පුළුවන. ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යන අයකු නම් ඒ සඳහා තම අංගෝපාංග එයට එකතුකර ගැනීමට උනන්දු වන්න.

මීන ලග්නය

හදිසි ධන ලාභ

මින ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව හදිසි ධන ලාභයක් පෙන්වයි. භූමි ආශ්‍රිතව ඔබට ලැබෙන වස්තුවකට හේතු ඇතිවේ. මැණික්, මිනිරන් පතල් ආශ්‍රිතව ව්‍යාපාරිකයන්ට ද වැවිලි හා විසිතුරු නිර්මාණ කරන ව්‍යවසායකයන්ට ද උසස් ආදායම් ඇති කෙරේ. පාදයේ වළළුකර ආශ්‍රිතව ඇමැට්ටියකට හෝ පෙරළීමකට හේතු විය හැකිය. හදිසියේ තමා හමුවට එන හිතවතකු තමාට පවරන විශේෂ වගකීමක් නිසා ආර්ථික ප්‍රතිලාභයකට ද හේතු වෙයි.

 

 

සුබසෙත ජ්‍යෙෂ්ඨ කර්තෘ

අජිත් ධර්මසිරි