ජ්‍යොතිෂ ගැටලු

අප්‍රේල් 29, 2024

සුවහසක් තරුණී පාඨකයන්ගේ අපේක්ෂාවන් හා ඉල්ලීමක් ඉටු කරමින් අපි ඔබට අගනා වටිනා අවස්ථාවක් උදාකර දෙමු. අපගේ පාඨකයන් නිරතුරුවම ඉල්ලා සිටියේ ඔවුන්ගේ දහසක් බාධක හා ගැටලු සඳහා ජ්‍යොතිෂයෙන් සහනයක් ලබාදෙන ලෙසයි. එම අපේක්ෂාව හා ඉල්ලීම එලෙසින්ම ඉටු කරමින් අප ඔබට මේ සතියේ සිට සුවිශේෂි ජ්‍යොතිෂය ගැටලු විසඳීමේ පාඨක තීරයක් මෙලෙසින් ආරම්භ කරමු.

මේ සඳහා එක් ක්‍රමයක් වන්නේ තැපැල් මඟින් ඔබගේ ජන්මපත්‍රයේ පිටපතක් සමඟ ඔබේ ගැටලුව යොමු කිරීමයි. නැතිනම් අපගේ Whatsapp අංකයට නම සහ ලිපිනය සමඟ හඳහනේ පිටපතක් යොමු කිරීමයි. එසේ යොමු කරන ජන්මපත්‍ර පිටපත චන්දන සතරසිංහ මහතාට යොමුකර ඒ සඳහා පිළිතුරු අප තරුණී පුවත්පතේ පළ කරමු. ඔබගේ පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්ෂාකර ගැනීම සඳහා අන්වර්ථ නමක් හෝ ලිපිනයක් යොදා ගැනීමට ද ඔබට හැකියාව තිබේ.

අපගේ ලිපිනය,

ජ්‍යොතිෂ ගැටලු

තරුණී

ලේක්හවුස්.

කොළඹ - 10

එසේත් නැතිනම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.

ප්‍රශ්නය

ඉතාලියේ යසන්තා

මගේ ආර්ථික තත්ත්වයට කුමක් වේද?

 

පිළිතුර

ඔබගේ ජීවිතයේ ඉතාම හොඳ ධන යෝගයක් උපතින්ම පිහිටයි. ආර්ථිකය ඉතා උසස් වේ. නමුත් පවුල් දිවිය සාර්ථක නොවේ. එයට කනගාටු නොවී ජීවත්වීම වඩාත් සුබ වේ. අනාගතය ඉතා සුබ වේ.

 

ප්‍රශ්නය

කුඹුක්ගැටේ - ස්වර්ණා පියරත්න

මගේ ජීවිතයේ හොඳ කාලය කවදා උදාවේද?

 

පිළිතුර

ඔබගේ ජීවිතයේ නරක කාලය අවසන්කර ඇත. අනාගතය ඉතා යහපත් වේ. එහෙත් නැවත විවාහයකට සුදුසු නොවේ. දැනට පවතින රෝග තත්ත්වයන් මේ වසර අවසන් වනවිට සුව වී නිරෝගී වේ.

 

ප්‍රශ්නය

පේරාදෙණියේ සුසන්ත ජයමාන්න

දැනට පවතින මගේ රෝගී තත්ත්වයට කුමක් සිදුවේද?

 

පිළිතුර

ඔබගේ උපන් ග්‍රහ පිහිටීම අනුව රාහු 01 කේතු 7 වැන්නේ රාහු සමඟ කුජ එකට පිහිටීම අනුව ඔබගේ විවාහය හොඳින් නිරීක්ෂණය කර පොරොන්දම් ගළපා කළ යුතු වේ. චන්ද්‍රයාගේ පිහිටීම අනුව ඔබට යම් විකෘති මානසිකත්වයක් ඇති බව පෙන්නුම් කරයි. එයට ප්‍රතිකාර ගත යුතු වේ. මේ වනවිටත් විවාහයන් එකක් හෝ දෙකක් සිදුකරගෙන එම දෙකෙම අසාර්ථක වී තිබේ. දින 7ක් බෝධි පූජා තබා විෂ්ණු කතරගම දෙවියන්ට බාර වී විවාහ දෝෂ සඳහා ශිව පාර්වතියට පූජා තබන්න. ‍

 

ප්‍රශ්නය

මොරටුවේ පදිංචි ආර්.එම්. ද මෙල්

මේ දිනවල මට ආර්ථිකව ගැටලු ඇති වී තිබේ. මෙයට විසඳුමක් තිබේද?

 

පිළිතුර

ඔබ මේ වනවිට සෙනසුරුගේ මහා දශාවේ අපර භාගය ගෙවන අතර ජන්ම ඒරාශ්ඨකය ගෙවමින් සිටියි. මේ වනවිටත් ඔබගේ ජීවිතයේ සිදුවීමට තිබෙන විශාල සුනාමියකට මුහුණ පා සිටියි. රැකියා කළේ නම් එම රැකි්යාව අහිමි වේ. ව්‍යාපාර කළේ නම් එම ව්‍යාපාර අහිමි වේ. උන්හිටි තැන් පවා අහිමි වී ඇත. දැනට වසර 10කට පෙර තම ස්වාමියාට ඔබගේ මාරක අපලයට අනුව ජීවත්ව සිටී දැයි සැකයක් පවති.

ඉදිරි කාලයේ අපල සඳහා සෙනසුරාදා දිනක බෝධි පූජා තබන්න. දින 21 ක් එය අඛණ්ඩව පවත්වන්න. ඉන්පසු සෙනසුරාදා දින 8ක් බෝධි පූජා පවත්වන්න. ඒ සෙනසුරාදා දින 8ම කපුටන්ට එළඟිතෙල් මිිශ්‍ර කිරිබත් ගුලි 8ක් දාන්න. තම උපත සඳහන් ලද මල් මාලාවකට වයසට සරිලන සේ සුදු මල් අමුණා එය බෝධියට පූජා කරන්න.

 

 

ප්‍රශ්නය

කඩුවෙල - ජයන්ත ජයනාත් මහතා

මා විදේශගත වීමට අපේක්ෂාවෙන් සිටිමි. එය ඉටුවේද?

 

පිළිතුර

ඔබ‍ගේ ග්‍රහ පිහිටීම අනුව මේ වනවිට ඔබ විදේශත වී එහි පදිංචිව සිටියු යුතු වේ. ඉතාම දුෂ්කර කාල පරිච්ඡේදය නිම වී තිබේ. මේ ගෙවන්නේ සිකුරුගේ මහ දශාවේ තනි අතුරු දශාව බැවින් තරමක පසුබෑමක් සහ කරදකාරී ස්වභාවයක් පෙන්වයි. මාස 8ක් වැනි කාලයකින් අතුරු එම දසාව ගෙවා කුජගේ අතුරු දශාව ලබන බැවින් ඉතා යහපත් වේ. එහෙත් ඉවසන්න. මෙම කාලයේ දන් පිං කිරීමට සිත යොමු කරන්න. ඔබට ඉතාම හොඳ මානසික ශක්තියක් ඇති අයෙකු බව පෙන්වන බැවින් ඔබට එය ධරා ගැනීම අපහසු නොවේ.

උපදෙස්

ජ්‍යෝතිශවේදී ගුප්ත

විද්‍යා විශාරද

වෛද්‍ය ආචාර්ය

චන්දන සතරසිංහ