නිවෙසක පදිංචිය එපා කරවන වාස්තු දෝෂ

ජුනි 10, 2024

 

අප නව නිවෙසක් ඉදි කරන්නේ තම දූ දරුවන් සමඟ සිතේ සැනසිල්ලේ සතුටින් ගත කරන්නටය. නමුත් වර්තමාන සමාජයේ පවුල් අතර විවිධ ගැටලු හා ජීවිත අහිමිවීම් අපට නිරතුරුවම අසන්නට දකින්නට ලැබෙයි. නිවෙසක මුල් පුරුක වන්නේ ගෘහ මූලිකයාය. ඔහුගේ ආරක්ෂාව නිවෙසට විශාල ශක්තියකි. මෙය වඩාත් හොඳින් ඉපැරැණි වාස්තු ග්‍රන්ථයන්හි සටහන්ව තිබේ.

 

නිවෙසක් සෑමවිටම සීහුම් කරන්නේ නිවෙසේ ගෘහමූලිකයාටය. සැමියා නොමැති විට ගෘහ හිමි කාන්තාවට එය ගැළපීම සිදු කරයි. මෙලෙස ගෘහ මූලිකයා හා නිවෙස අතර පවතින වාස්තු දෝෂ පිළිබඳ අපි පසුගිය ලිපි ගණනාවකදී සාකච්ඡා කළෙමු. මේ සතියේදී එම දෝෂ කිහිපයක් පිළිබඳ අපි නැවත විමසා බලමු.

 

බ්‍රහ්ම පාදය

බ්‍රහ්ම පාදය බිත්තියකට යට කිරීම, ඒ මත පඩි පෙළක් ඉදි කිරීම, පොකුණක් හෝ නාන කාමර වැසිකිළි තැනීමක් එහි බලය දුර්වල වෙයි. එවිට ගෘහය හා ගෘහ මූලිකයා අතර සම්බන්ධය දුර්වලවීම ද සිදු වේ. මේ නිසා නිවෙසකට හෝ ව්‍යාපාරික ස්ථානයක බ්‍රහ්ම පාදය හඳුනා ගැනීම නිවැරැදිව කළ යුත්තකි. එය නිදහස්ව පිරිසුදුව තිබිය යුතුය. එම පාදය මත පච්ච වර්ණයේ පාපිස්සක් යොදා ඊසාන රේඛාව ස්වස්තික ලකුණ ප්‍රදර්ශනය කිරීමත්, දැව මැටි වැනි පාෂාණ වර්ග භාවිත කර බ්‍රහ්ම පාදය සක්‍රීය කිරීමක් කළ යුතුය.

 

වහලය

නිවෙසක සිරස ලෙස සලකන්නේ වහලයයි. වහලයේ පවතින දෝෂ ප්‍රධාන වශයෙන් ගෙහිමියාට බලපෑමක් ඇති කරයි. පරාල ඉරට්ටේ සංඛ්‍යාවක් ගැනීම, සොහොන් පරාල යෙදීම, තනි ඵලයේ වහලය, කළු වර්ණයේ දැව හෝ කළු වර්ණය ගැල්වීම, ගෘහ මූලිකයාගේ උසට වඩා අඩු දිග සහිත මූට්ටු මුදුන් ලිය හා යටලීය සඳහා යෙදීම වහලයෙන් ඇතිවන දෝෂ කිහිපයකි.

 

මුල්ගල මුල්ගල යනු නිවෙසක ප්‍රධාන සාධකයකි. එය සුබ මුහූර්තයෙන් තැබීම සිදු කරනු ලබයි. එය නිවෙසේ ජීව කාලය පුරාම ආරක්ෂා කළ යුතු වේ. නිසි ආකාරයේ සැලසුමක් නොමැති නිවාස සැලසුම් තියෙන මුල්ගල නිතර පෑගෙන ස්ථානවල යොදයි. මුල් ගලක් පෑගීම හෝ වැසිකිළි වළක බිත්තිය පිහිටන ලෙස යෙදීම නොකළ යුත්තකි. මුල්ගල නිතර පිරිසුදුව තැබිය යුතු අතර එය නිවැරැදි ලෙසින් නොතිබීමෙන් විශාල ගැටලු රැසක් ඇති වේ.

 

ද්වාර දෝෂ

නිවෙසක ප්‍රධාන දොරටුව නිවැරැදිව යෙදීම හා එය නිවැරැදි නැකතින් පැනීම කළ යුතුය. මෙලෙස ප්‍රධාන දොරටුව අසුබ පාදයක පිහිටීමෙන් වැස්සට, අව්වට වේළීමෙන්, පියන් නිවැරැදිව ඇරීමටත් සිදුනොවනු ඇත. ප්‍රධාන දොරටුවට කෙළින් ගේට්ටුව පිහිටීමත්, දොරටුව ඉදිරියේ ප්‍රධාන හංදියක් පිහිටීම වාස්තු දෝෂ රැසක් ඇති කරයි. මෙවැනි දෝෂ වේ නම් එම දෝෂ ඉවත් කිරීම ඉතා ඉක්මනින් කළ යුත්තකි.

 

දිශා පිහිටීම

දිශානුගතව නිවෙසක අංග පිහිටීම වාස්තු විද්‍යාෙව් ප්‍රධානම සාධකයකි. මෙහිදී ඊසාන හා නිරිත දිසාව ඉතාම වැදගත්ය. ගෙහිමියා, නිරිත දිශාවේ සිටිය යුතුය. ඊසාන, ගිනිකොණ, වයඹ ඉතාමත් අයහපත්ය. බ්‍රහ්ම පාදය කාමරයකට පිහිටන ලෙස ඇති නම් එම නිවැසියන් අතර නිතර නිතර අඬදබර ඇති වෙයි. මෙය නිවෙසේ පදිංචිකරුවන්ගේ වරදක් නොවන අතර මෙම වාස්තු දෝෂය ඉවත් කිරීමෙන් සියලු ගැටලු විසඳා ගැනීමට හැකි වේ. බොහෝවිට නිවාස හැරයෑම සිදු වන්නේ එම නිවාසවල පදිංචිකරුවන්ගේ වැරැදි නිසා නොවේ. නිවෙසේ පවතින වාස්තු දෝෂ හේතුවෙනි. ඒ නිසා නිවෙසක් තුළ විවිධ කරදර බාධා පවතී නම් වාස්තු දෝෂ ගැන විමසා බැලීම පළමුව කළයුත්තකි.

 

උපදෙස් -

ප්‍රවීණ ජ්‍යෝතිෂ්ශාස්ත්‍රඥ, වාස්තු විද්‍යා උපදේශක

ධර්මපාල සොන්දරප්පෙරුම ආරච්චි