සම දීප්තිමත් කරන

නොවැම්බර් 15, 2021

 

දීප්තිමත් සමක් සමඟ මුහුණේ සුන්දර සිනහවක් වේ නම් ඔබ කොතැනත් කැපී පෙනේවි. සිනහව නිතැතින් නගා ගන්නට හැකි වුවත් දීප්තිමත් සමක් නම් නිතැතින්ම හිමිවන්නේ කලාතුරකිනි.

ඒ වගේම විවිධ හේතු නිසා සමේ දීප්තිය නැතිවී යා හැකියි. ඒ සඳහා සැෆ්රන් කදිම විසඳුමක්. අප ඒ ගැන ගිය සතියේ කතා කළා. අද අපි සැරෙන් මඟින් සම දීප්තිමත් කරන තවත් ආකාර කිහිපයක් ගැන දැන ගනිමු.

කිරි සමඟ පානය කරන ආකාරය

පසුගිය සතියේ දී ඒ පිළිබඳ පහදා දුන්නෙමු. එයට සීනි හෝ මීපැණි දාන්න පුළුවන්. ඒත් ඒවා නැතුව බොන එක වඩාත් හොඳ බව මතක තබාගන්න.

කෙට්ටු කෙනෙක් මහත් වෙන්න ඕනෙ නම් උදේට බොන්න. සැෆ්රන් මඟින් ආහාර ජීරණය පහසු කර ඉක්මනින් බඩගිනි ඇති කරනවා. මහත් වෙන්න ඕනෙ නැත්නම් රාත්‍රියට පානය කරන්න. ඒ වගේම නින්ද නොයන අයටත් රාත්‍රීයට සැෆ්රන් කිරි වීදුරුවක් පානය කිරීමෙන් සුවදායි නින්දක් ලබාගන්න පළුවන්. කිරි බොන්නෙ නැති අයට මේ ප්‍රමාණම මේ විදියටම කිරි වෙනුවට උණු වතුර භාවිත කර බොන්න පුළුවන්.

 

කුරුළෑ සඳහා

ඇලෝ ජෙල් තේ හැඳි 2ට සැෆ්රන් රේණු 3-4ක් දමා මිශ්‍ර කර මිනිත්තු 10ක් විතර තබා මුහුණේ ආලේප කර මිනිත්තු 15ට පමණ පසු සාමාන්‍ය වතුරෙන් සෝදන්න.

 

ෆේස් ෆැක් එකක්

සුදු හඳුන් තේ හැඳි 1ට යෝගට් හෝ කිරි තේ හැඳි 2ක් දමා ඒකට සැෆ්රන් රේණු 3-4ක් එකතුකර කවලම් කරලා මිනිත්තු 10න් තබා මුහුණේ ආලේප කරන්න. වියළී ගියාට පසු සෝදා හරින්න. සම වියළි වීම, පිග්මන්ටේෂන්, බෙල්ල වටේ, ඇස් වටේ සහ කට දෙපැත්තේ අවපැහැ ගැන්වීම් (කළු වීම) ඉවත් කර දිදුළන සමක් ලබාගන්න පුළුවන්. ඒත් මෙහි යෝගට් තිබෙන නිසා කුරුළෑ සහිත තෙල් සමකට නම් එතරම් සුදුසු නැහැ.

 

ඇක්නි තියෙන අයට

ඇලෝ ජෙල් තේ හැඳි දෙකකට සැෆ්රන් රේණු 3-4ක් දමා මිශ්‍ර කර විනාඩි 10ක් විතර තබා මුහුණෙ ආලේප කර මිනිත්තු 15ට පමණ පසු සාමාන්‍ය වතුරෙන් සෝදා දාන්න.

 

නයිට් ක්‍රීම් එකක් ලෙස

රෝස වතුර තේ හැඳි 2ක්, ඇලෝ ජෙල් තේ හැඳි 2ක්, විටමින් E කරල් 2ක් හා සැෆ්රන් රේණු 3-4ක් මේ සඳහා අවශ්‍ය වේ.

රෝස වතුරවලට සැෆ්රන් ටික දමා මිනිත්තු 10ක් තියන්න. දැන් එයට ඇලෝ ජෙල් ටික දමා විටමින් E කරල් දෙක කඩා දමන්න. එය හොඳින් මිශ්‍ර කර පියන වැසිය හැකි බඳුනකට (ක්‍රීම් ඩප්පියකට) දමා තබාගෙන රෑට ක්ලෙන්සර් කර පිරිසුදු කරගත්ත මුහුණේ ආලේප කර උදේට සෝදා හරින්න. මාසයක් විතර ශීතකරණයේ තබාගෙන භාවිත කරන්න පුළුවන්.

 

ටෝනර් එකක් විදිහට

රෝස වතුරවලට සැෆ්රන් රේණු 5-6ක් දමා ශීතකරණයේ තියා සම වියළියි, තෙතගතියක් නැහැ, ප්‍රබෝධයක් නැහැ කියලා හිතෙන ඕනෙම වෙලාවක ගල්වන්න. ඒ වගේම වගේම උදේ හවස ක්ලෙන්සර් කළාට පස්සෙ භාවිත කරන්නත් පුළුවන්.