සුනාමියෙන් පස්සෙ අපේ පවුලට ඉතුරු වුණේ ඇඳිවත විතරයි

Hair World තරගාවලියේ රන් පදක්කම ලක්මවට දිනා දුන් රූපලාවණ්‍ය ශිල්පිනී තීක්ෂණී කාරියවසම්
ජනවාරි 17, 2022

 

ඕනෑම කාන්තාවකගේ සිහිනය තමන් කරන කටයුතු අන්‍යයන්ට වඩා හොඳින් කරන්නටය.

එහිදී තමන් තුළ ඇති සුවිශේෂී හැකියාවන් නිසා අන්‍යයන් අතර කැපී පෙනෙන ලෙස කටයුතු කරන්නට හැකිවුවහොත් ඇය විශිෂ්ටත්වය කරා ගෙන යන බව රහසක් නොවේ. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ලොව ජයගත් කාන්තා චරිත අපේ පුංචි දිවයිනේ ද සිටිති. ඒ නම් අතරට එක්වෙමින් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයෙන් ශ්‍රී ලංකා නාමය රනින් සරසන්නට ඇයට හැකි විය.

ඇය නමින් තීක්ෂණී විද්‍යා කාරියවසම් ය. ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමයේ ආදි සිසුවියක් වන ඇය තමාගේ හැකියාවන් ලොවට ම පෙන් වූ දක්ෂ රූපලාවණ්‍ය ශිල්පිනියකි. පසුගියදා පැවැති ලෝක කොණ්ඩා සැකසුම් (Hair World) තරගාවලියේ දී පළමු තැන දිනා රන් සම්මානය තම නමට, තම රටට දිනා ගැනීමට සමත් විය. මේ රන් සම්මානය දක්වා ඇය පැමිණි ගමන පහසු එකක් වූවා යැයි නොසිතන්න. ලෝකය දිනීමට යන මාවත පහසු නැත. මේ ඈ ගිය ඒ ගමන ගැන තරුණී වෙනුවෙන් කරන සුවිශේෂී හෙළිදරව්වයි.

රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට කුඩා කාලේ ඉඳන්ම කැමැත්තක් තිබුණාද?

මම පාසල් යන කාලේ නැටුම් කළා. ඉතිං නිතරම නැටුම් තරගවලට යද්දි මේකප් කරන්න වුණා. අපි පුංචි කාලේ ලොකු අක්කලා තමයි මේකප් කළේ. ඒත් ටිකක් ලොකු වෙනකොට මම ඒවා තනියම කරගන්න පුරුදු වුණා. බණ්ඩාර ගුරුතුමියගේ සන්දීප රංග ශාලිකාවෙන් අපි විදේශීය නැටුම් තරගවලටත් ගියා. 2000 වසරේදි කොරියාවේ පැවැත් වූ මිලේනියම් එක්ස්පෝ එකේ රටවල් 24ක් සහභාගි වුණා. ඒකෙදි මම තනියම මේකප් කළා. කණ්ඩායමේ ගොඩක් ළමයි මේකප් කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ අය කිව්වේ මම හොඳට ඒ වැඩේ කරනවා කියලා.

A/L විභාගෙ කරලා ඉන්න අතරේ මම මානෙල් කොටුවේගොඩ මහත්මියගේ රූපලාවණ්‍ය පාඨමාලාව හැදෑරුවා. ඒ වෙනකොට සෞන්දර්ය විශ්ව විද්‍යාලයට තේරිලා තිබුණත් මගේ වැඩි කැමැත්ත තිබුණේ මේ ක්ෂේත්‍රයේ දිගටම රැඳෙන්නයි.

 

තමන්ගේම ව්‍යාපාරික ආයතනයක් පටන් ගත්තෙ කොයි කාලෙද?

ඒ පාඨමාලාවෙන් පස්සෙ මම පොඩියට සැලොන් එකක් පටන් ගත්තා. ඒක කරගෙන ඉන්න අතරේ ගාල්ලේ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පියෙක් වුණ දයානන්ද සිල්වා මහත්මයා මට 2004 ශ්‍රී ලංකා කේශාලංකරණ හා රූපලාවණ්‍යවේදීන්ගේ සංගමයෙන් පැවැති ජාතික සම්මාන තරගාවලියට ඉදිරිපත් වෙන්න කියලා කිව්වා. ඒ සඳහා අවශ්‍ය දේවල් මට නොතිබුණ නිසා මනාලියට අවශ්‍ය ගවුම, මල් කලඹ දීලා ඒකට ඉදිරිපත් වෙන්න කියලා මට බල කළා. 200ක් පමණ සහභාගි වුණ ඒ තරගයෙන් දෙවැනි වටයට සුදුසුකම් ලැබුවත් සම්පත්වල හිඟතාව නිසා මට ඒකෙ දෙවැනි වටයට සහභාගි වෙන්න ලැබුණේ නැහැ.

තීක්ෂණී කියන්නෙ වැටි වැටි නැඟිටපු කෙනෙක්.

අනිවාර්යයෙන්ම. මගේ සැලෝන් එක, ගෙදර තිබුණේ ගාල්ල මහමෝදර. මුහුද ආසන්නයේ ම තිබුණ නිසා සුනාමියෙන් පස්සෙ අපේ පවුලට ඉතුරු වුණේ ඇඳිවත විතරයි. ඒ වෙනකොට මගේ පුතා කුසට ඇවිත් මාස තුනයි. අපිට ලෑලි ගෙවල් ලැබුණත් ඒවයෙ ඉන්නකොට මට අපහසු නිසා ලොකු අම්මගෙ නි‍ෙවසටත්, එතැනින් කුලී නිවෙසකටත් ගියා. ඒ ඉන්න කාලෙත් මම වෙඩින් 2 - 3ක් කළා.

මගේ මුල්ම මනාලියන් දැක්ම තරගයෙන් ලැබුණ කප් එක සුනාමියට ගහගෙන ගිහින් පාරෙ තිබිලා ආයෙත් මට හම්බවුණා. සුනාමියෙන් පස්සෙ මට ආයෙත් නැඟිටින්න උදවු කළේ ශ්‍රී ලංකා කේෂාලංකරණ හා රූපලාවණ්‍ය ශිල්පීන්ගේ සංගමය. (SLAHAB) ලංකාවේ ප්‍රවීණතම රූපලාවණ්‍ය ශිල්පීන්ගේ එකමුතුවක් වුණු එහි මම වගේම සුනාමියෙන් කරදරයට පත්වුණ රූපලාවණ්‍ය ශිල්පීන් කීප දෙනකුට රූපලාවණ්‍ය උපකරණ ලබාදීලා උදවු කළා. එදා මට ලැබුණු සැලෝන් පුටුවයි කණ්ණාඩියයි තාමත් මගේ සැලෝන් එකේ තියෙනවා.

ඒ කාලෙදි ණයක් දෙන්න කිසිම බැංකුවක් කැමැති වුණේ නෑ. මොකද ආදායම්, වත්කම් පෙන්වන්න අවශ්‍ය ලියකියවිලි තිබුණේ නෑ. සුනාමිය අපිව අන්තිම අඩියට දාලයි තිබුණේ. මේ වෙලාවේ HNB බැංකුවේ හිටිය මගේ ඥාති සහෝදරයෙක් ඔහුට හැකි උපරිම මුදල ණයක් ලෙස මට ලබා දුන්නා. ඔහු දිවා සම්පත් කුකුළේවිතාරණ. ඒවගේම රම්‍යජිත් සුදර්ශන ද සිල්වා සහෝදරයා වගේම මගේ ලොකු අම්මා තමයි සැලෝන් එකට අවශ්‍ය මුදල් ලබා දුන්නේ. නමුත් මේ ගමන ලේසි වුණේ නෑ.

ඔබේ රූපලාවණ්‍යායතනයේ නම ‘බොනිතා‘. මේ නමත් විශේෂයි කියලා මට හිතෙනවා.

ඔව්. ඒක ස්පාඤ්ඤ වචනයක් බොනිතා කියන එකේ තේරුම ලස්සනයි කියන එක. මේ වචනේ මට ඇහෙන්නේ අවුරුදු 18 දී නැටුම් තරගයකට කොරියාවට ගිය වෙලාවෙදි. එදා මම නර්තනය ඉදිරිපත් කරනකොට එතැන හිටිය එක්වදෝර් කණ්ඩායම ‘බොනිතා බොනිතා‘ කියලා කෑ ගැහුවා. ඒක මගේ හිතේ තිබුණා. දැන් ඒ වචනේ මගේ අනන්‍යතාවක් බවට පත් වෙලා.

2013 වසරෙදි ජාතික සම්මාන තරගාවලියේ 1st runnerup වෙන්නත් ෆැන්ටසි කොටසෙන් Gold Medle එක ගන්නත් හැකි වුණා. 2015 ඉඳන් මම ඒ තරගාවලිය වෙනුවෙන් මගෙන් ඉගෙන ගන්න ළමයින්ව පුරුදු කළා. මම ඉන් ඔබ්බට යාමට තීරණය කළේ ලෝක මට්ටමේ තරග සඳහා ඉදිරිපත් වීමටයි.

මේ තරගවලින් ඉදිරියට යන තීක්ෂණීගේ ගමන මොන වගේද?

විදෙස් තරගාවලි සඳහා යාමට මාව දිරිමත් කළේ Slahab එකේ නිර්මාතෘ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී නයනා කරුණාරත්න මහත්මිය. මෙහිදී මම ආසියානු තරග, යුරෝපියානු තරග, වගේම ලෝක තරග සඳහා ඉදිරිපත් වෙලා අත්දැකීම් ලබා ගත්තා. Hair World තරගාවලියේ දී 2017 වසරේ මම 10 වෙනි තැන ලබා ගත්තා. ප්‍රවීණ රුසියානු රුපලාවණ්‍ය ශිල්පිනී නනාරා බිට්සු ලංකාවට ගෙන්වලා අපව ඇය වෙත යොමු කිරීමට නයනා කරුණාරත්න මහත්මිය කටයුතු කළා. ඒ නිසා 2018 දී මම හෙයා වර්ල්ඩ් 4 වැනි ස්ථානය ලබා ගත්තා.

නනාරාගේ පුහුණවීම් 2018 දීත් තිබුණා. මගේ දුව ලැබිලා සති දෙකයි. මම දරුවට සැරෙන් සැරේ කිරි දීලා දරුවා නැනී අතට දීලා තමයි පුහුණුවීම් කළේ. සීසර් කරලා සති දෙකක් නිසා දවසම හිටගෙන ඉන්න අමාරු වුණා. කොන්දෙ කැක්කුම් ආවා. ඒත් මම කොහොම හරි පුහුණුවීම්වලට සම්බන්ධ වුණා. අදටත් දුවගෙ දිහා බැලුවම මට දුක හිතෙනවා. මේ දරුවට නිදහසේ කිරි ටිකවත් බොන්න වුණේ නෑ නේද කියලා. ඒ තරම් කැපවීමක් මේ දේවල් වෙනුවෙන් මට කරන්න වුණා.

2022 ලැබුණු ජයග්‍රහණයට ඔබ සූදානම් වුණේ කොහොමද?

හංගේරියානු ජාතික ඩොමිනි රොබර්ට්ස් ජාත්‍යන්තර රූපලාවණ්‍ය තරගාවලින් රන් පදක්කම් දිනා තිබුණු රූපලාවණ්‍ය ශිල්පියෙක්. 2018 වසරේ අග වගේම 2019 වසරේදීත් අපිව පුහුණු කළේ ඔහු. 2019 වසරේදීත් මගේ තිබුණු තැන රැක ගන්න මට හැකිවුණා. පායල් බිලී ජය ප්‍රකාශ්, මයුරී තිලකවර්ධන සහ මම කණ්ඩායමක් ලෙස තරග කළා. ඒකෙදි අපිට ආසියානු කලාපීය ජයග්‍රහණ හිමි වුණා. 2020 දි online තරග පැවැත්වුණත් එය අපිට එතරම් හුරු නැති නිසා පරාජයට පත් වුණා. ඒ පන්නරයත් එක්ක 2021 දී හොඳින් තරගයට සහභාගි වෙලා රන් සම්මානය හිමිකර ගත්තා.මේකෙදි මම මනාලියක් ලෙසින් හැඩ කළ නිරූපණ ශිල්පිනී නිලක්ෂි තිලකරත්න ලොකු සහයෝගයක් ලබා දුන්නා. මගේ කාර්යමණ්ඩලයේ ළමයි පවා මට ලොකු සහයෝගක් දුන්නා. Studio Dreembox එකේ ගයාන් සංජීවගේ ඡායාරූප තමයි online තරගයේදී පාවිච්චි කළේ.

මගේ තාත්තා ගිය අවුරුද්දෙ නැති වුණා. ඒත් මගේ හැම දේකදීම තාත්තා ළඟ හිටියා. මේ හැම දේකදිම මගේ ළඟ හිටියේ අම්මයි තාත්තයි. මගේ මහත්තයා සජිත් ද සිල්වා මගේ හෙවණැල්ල වගේ. ඔහු මට දුන් සහයෝගය නිසා තමයි අද මම මෙතැන ඉන්නේ.

ක්ෂේත්‍රයේ නවකයන්ට දෙන පණිවුඩය මොකක්ද?

අපේ අය තරගවලට හරි බයයි. බය වෙන්න එපා තරගවලට සහභාගි වෙන්න. අපේ රටෙත් ගොඩක් තරග තියෙනවා. ඒවාට සහභාගි වුණාම දැනුම අලුත් වෙනවා. නිතරම දැනුම අලුත්කරගන්න. තමන් කරන දේ හරියට කරන්න නම් දැනුම එක්රැස් කරගන්න.

 

 

ඡායා - ශාන් රූපස්සර