යමක් උනන්දුවෙන් කරනවා නම් ඊට අවශ්‍ය කාලය කොහොමහරි හොයාගන්න පුළුවන්

රූපලාවණ්‍ය ශිල්පිනී කුමාරි සමරක්කොඩි
පෙබරවාරි 28, 2022

 

පංචකල්‍යාණයෙන් හෙබි යුවතිය ශ්‍රියාකාන්තාව පරදන සුන්දරත්වයක් හා වාසනාවක් ගෙන එන බව ඈත කාලයේ පටන් පිළිගත් මතයකි. ගැහැනියකගේ සුන්දරත්වය ඇගේ පෞරුෂය නිරතුරුව ආරක්ෂා කරයි. රූපලාවණ්‍ය ශිල්පය වර්තමාන යුවතියන් රුවින් බබළවන කලාවකි. කර්මාන්තයකි. වෘත්තියකි.

 

 

වර්තමානයේ රූපලාවණ්‍ය ශිල්පය අතු ඉති පුරා විහිදුණු විසල් ගසක් වැනිය. වෘත්තීය මට්ටමේ ශිල්පීන්ගේ සිට ක්ෂේත්‍රයට පැමිණෙන කෝඩුකාරයන් පවා රූපලාවණ්‍ය ශිල්පයට ආසක්ත වෙමින් සිටී. එවන් කාල වකවානුවක වසර ගණනාවක් පුරා ක්ෂේත්‍රය තුළ නම් තැබූ රූපලාවණ්‍ය ශිල්පිනියක් ගැනයි අද කතා බහ කරන්නේ. ඇය කුමාරි සමරක්කොඩි.

 

මේ දිනවල වැඩ කටයුතු කොහොමද?

මේ කාලය රූපලාවණ්‍ය ශිල්ප, ශිල්පිනියන්ට නිදහස් කාලයක්. කාර්යබහුල කාලයක් නොවෙයි. විවාහ උත්සව අඩු කාලයක්නේ. නමුත් මගේ දියණියගේ විශේෂ වැඩ කටයුත්තක් සඳහා මහන්සි වෙනවා.

පසුගිය කෝවිඩ් සමයේ රූපලාවණ්‍ය ශිල්පීන්ටත් වැඩි බලපෑමක් ඇතිවුණා. ඔබ ඒ තත්ත්වයට මුහුණ දුන්නේ කොහොමද?

අනෙකුත් ක්ෂේත්‍රවලට වඩා රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට මෙය තදින්ම බලපෑවා. මොකද වෙනත් ක්ෂේත්‍රවල වගේ මුඛ ආවරණ පැලඳගෙන වුවත් මේ ක්ෂේත්‍රෙය් වැඩ කරන්න බැහැ. මුහුණට කරන සත්කාරයක් නම් අනිවාර්යයෙන්ම මුඛ ආවරණ ගලවන්න වෙනවා. මීටරයක පරතරයක් දුරින් හිඳ කරන්න පුළුවන් වෘත්තියක් නොවෙයිනේ. ඉතිං ආර්ථිකමය වශයෙන් ඒ කාලයේ දී රූපලාවණ්‍ය ශිල්ප ශිල්පිනියන් බොහෝ ගැටලුවලට මුහුණ දුන්නා. මගේ සැලෝන් එකත් වහලා තිබුණේ. ඒ කාලය අපහසුවෙන් වුවත් පසුකරන් ආවා.

 

දැන් ඒ අපහසු කාලයෙන් මිදී රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට හොඳ කාලයක් උදා වෙලා කියා සිතනවාද?

නැවතත් කෝවිඩ් හිස ඔසවන ලකුණු පෙන්වනවා. එහෙත් දැන් ජනතාවට තරමක් දුරට හෝ මේ වසංගත තත්ත්වය ගැන අවබෝධයක් තිබෙන නිසා පෙර තරම් අවදානම් තත්ත්වයක් නොතිබේවි. නමුත් පරෙස්සම වැදගත්. දෙයක් මොහොතකින් වෙනස් වෙන්න පුළුවන්. නමුත් දැනට පවතින තත්ත්වය අනුව 75%ක විතර වාතාවරණයක් තිබෙනවා රූපලාවණ්‍ය ශිල්පීන්ට වැඩ කටයුතු කරගෙන යන්න.

 

ඔබ ක්ෂේත්‍රයට පිවිසුණේ කොහොමද?

මේ ක්ෂේත්‍රයට එන්නේ වයස අවුරුදු 15 දී. මුලින්ම මනාලියක්ව ඇන්දුවේ පාසල් ඇඳුම පිටින්. ඒ කාලේ රූපලාවණ්‍ය ආලේපන, උපකරණ එතරම් තිබුණ කාලයක් නොවෙයිනේ. ඉතිං හැකි විදිහට තමයි ඒ කටයුතු කළේ. පොඩි කාලේ ඉඳන්ම රූපලාවණ්‍ය සහ කලාව කියන දේ මගේ ඇඟේම තිබුණා. මගේ අම්මත් ඉවුම් පිහුම්, මැහුම් ගෙතුම් වගේම ලස්සනට අඳින්න, පලඳින්න කැමැති කෙනෙක්.

ඉතිං ඒ ආභාසයත් මට ලැබෙන්න ඇති.

 

ඔබ වෘත්තීමය රූපලාවණ්‍ය ශිල්පිනියක්...

මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 20ක් පමණ වෙනවා. ඉතිං මට උපතින්ම හැකියාව තිබුණත් මම NVQ Level 5 දක්වා ඉගෙන ගත්තා. විදෙස් රටවවල සංවිධානය කරනු ලබන රූපලාවණ්‍ය සම්මන්ත්‍රණ සහ පාඨමාලා ආදියටත් සම්බන්ධ වෙලා දැනුම ලබාගත්තා. මගේ ගුරුවරිය වූයේ සුවිනිතා කොතලාවල මහත්මියයි. ඇය ගුරු මුෂ්ඨියකින් තොරව ඇගේ ශිල්පය ලබා දුන්නා. මං හැදෑරීමක් ඇතුවයි මේ ක්ෂේත්‍රෙය් වැඩ කරන්නේ. කැලණියේ ‘සැලෝන් බයෝ‘ නමින් මගේම රුපලාවණ්‍ය ආයතනයක් ආරම්භ කර එය මෙතෙක් දුරට සාර්ථකව පවත්වාගෙන යන්න හැකියාව ලැබුණේ ඒ සියලු දේ නිසයි.

 

ඒ වගේම ඔබ රුපලාවණ්‍ය උගන්වන ගුරුවරියක්.

මා සතු දැනුම අලුත් පරම්පරාවට ලබා දීමෙන් ලොකු සතුටක් ලබනවා. එය හරියට මනාලියක් හැඩ ගන්වා ඇයගේ සුන්දරත්වය දකිනවා වගේ දෙයක්. NVQ පාඨමාලා කිහිපයක් පවත්වාගෙන යනවා. නවකයන්ගේ විශාල උනන්දුවක් තියෙනවා රූපලාවණ්‍ය හැදෑරීමට. වර්තමානයේ දී ලාභ ලැබිය හැකි වඩා සුදුසුම ක්ෂේත්‍රයක් ලෙස රූපලාවණ්‍ය ක්ෂේත්‍රය හඳුන්වන්න පුළුවන්.

 

ඔබ සමාජ සේවයටත් කැමැතියි.

ඒවා ගැන අනවශ්‍ය ලෙස ප්‍රසිද්ධියේ කියන්න කැමැති නැහැ. අඩු ආදායම් ලාභී පවුල්වල තරුණ තරුණියන්ට පසුගිය කාලයේ නොමිලේ පාඨමාලා පැවැත්වූවා.

අපි ඇත්තටම ජීවත් වෙන්න ඕනේ අපිටත් අනෙක් අයටත් වැඩක් ඇති චරිතයක් විදියටයි. අපේ ජීවිතය මේ විදිහට අපිට ලැබිලා තියෙන්නේ පෙර පින් හේතුකරගෙන. ඉතින් ඒ ලබපු ජීවිතයෙන් ඵලදායී ෙදයක් සිදුකරන එක තමයි වැදගත්. අපේ ජීවිතය ගොඩනඟාගන්න අතරේම තවත් කෙනකුගේ ජීවිතයත් ගොඩනඟා ගන්න රුකුලක් වෙන්න, හයියක් වෙන්න පුළුවන් නම් අන්න එතැන තමයි සැබෑම සාර්ථකත්වය තියෙන්නේ.

එවන් තරුණ තරුණියන්ට අත හිත දීමට අමතරව දිළිඳු පවුල්වලට සහනාධාර ලබාදීම සහ නිවාස ඉදිකිරීමේ කටයුතුවලටත් මා සම්බන්ධ වුණේ ඉතාම සතුටින්.

 

රූපලාවණ්‍ය ශිල්පිනියක් ලෙස අද ඔබ සිටින තැන ගැන මොකද හිතෙන්නේ.

රූපලාවණ්‍ය ශිල්පිනියක් ලෙස මා සාර්ථකයි. මට අවශ්‍ය තැනට ඇවිත් තිබෙනවා. මගේම රූපලාවණ්‍යායතනයක් තිබෙනවා. මගේම ශිෂ්‍ය පරම්පරාවක් ඉන්නවා. මා අතින් හැඩ වන්න බොහෝ දෙනා මා සොයා එනවා. ඒ වගේම මා කලක් ගම්පහ රූපලාවණ්‍යවේදීන්ගේ සංගමයේ සභාපතිනිය ලෙසත් කටයුතු කළා.

2020 - දෙරණ ෆේෂියා අම්මයි දුවයි තරගයේ ජයග්‍රාහිකාවක් වෙන්න හැකිවුණා.

ඔව්. ඒක වෙනස්ම අත්දැකීමක්. මමයි මගෙ දුව මෙලනි අනුත්තරා ඒ තරගයට සහභාගි වුණා. තෝරාගත් අයදුම්පත් 500ක් අතුරින් මව්වරුන් සහ දියණිවරන් 12 දෙනකු අවසන් මහා තරගයට තේරි පත්වුණා. මාස තුනක් පුරාවට අපේ විවිධ හැකියාවන් බලලා විනිශ්චය මණ්ඩලයක අධීක්ෂණයෙන් තමයි තෝරා ගැනීම් සිදු වුණේ.

ඒ තරගාවලියෙන් දෙවැනි ස්ථානය හිමි වුණා. ඒ තරගය නිසා මාවත් මගේ දියණියවත් බොහෝ පිරිසක් හඳුනාගත්තා.

 

දියණියක් කියන්නේ මවකට වගකීමක් ද?

පුතකුට වඩා දියණියක් සිටින මවකට වගකීම් වැඩියි. දියණිය ඉපදුණු දවසේ ඉඳන් මට දැනුණා ඒක ලොකු වගකීමක් කියලා. අද සමාජයත් එක්ක බලද්දී තරුණ දරුවන් සමාජයට යවන එක ගැන ගැටලුවක් තියෙනවා. දියණියත් රූපලාවණ්‍ය ශිල්පිනියක්. ඇය කුඩා කාලයේ සිටම මගේ සැලෝන් එකත් එක්ක රූපලාවණ්‍ය උපකරණත් එක්ක හැදී වැඩුණේ. ඉතිං ඇයටත් ඒ හැකියාව උපතින්ම පිහිටලා තියෙනවා. ඇය මගේ දුවෙක්ට වඩා මිතුරියක් වගේ. මට පුතකුත් ඉන්නවා. ඔහු ධනංජය එරංග. එයාත් අපේ කටයුතුවලට සහය දෙනවා. අපි හරිම සහයෝගයෙන් ආදරයෙන් ඉන්න පවුලක්. ඉතිං මං මේ දවස්වල දුවගේ විශේෂ වැඩකට සූදානම් වෙනවා කිව්වනේ. දුවගේ විවාහය සිදුවන්නේ ලබන මැයි මාසයේ. ඉතිං මනාලියකගේ මවක් විදිහට මේ දවස්වල ඒ කටයුතු එක්ක ගොඩක් කාර්යබහුලයි. සෑම මවක්ම ආසාවෙන් බලන් ඉන්න දෙයක් තමයි තමන්ගේ දුව මනාලියක් වෙලා ඉන්නවා දකින එක. ඒක සෑම මවකගේම හීනයක්. මමත් ඒ හීනය ඉක්මනින්ම සැබෑ කර ගනීවි.

 

ගෘහණියක්, මවක්,‍ රූපලාවණ්‍ය ශිල්පිනයක් යන භූමිකා ත්‍රිත්වය කරගෙන යද්දී ඔබ වඩාත් කාර්යබහුල ඇති..

මම හරිම වාසනාවන්ත කෙනෙක්. මං ඕනෑම දෙයක් අරඹද්දීම එය සාර්ථක වෙනවා. රූපලාවණ්‍ය ක්ෂේත්‍රෙය්දී විතරක් නෙවෙයි, නිවෙසේ කටයුතුවලදීත් එහෙමයි. ගෙදර වැඩවලට, උයන්න පිහන්න ඒ හැම දෙයක්ම මට හොඳින් කරගෙන යන්න පුළුවන්. කාලය කළමනාකරණය තමයි ඉතාම වැදගත් වෙන්නේ. අපි යමක් උන්නදුවෙන් කරනවා නම් ඊට අවශ්‍ය කාලය අපිට කොහොම හරි හොයාගන්න පුළුවන්.

 

ඉදිරි වැඩ කටයුතු ගැනත් කතා කරමු.

විශාල සැලසුම් මං ළඟ නැහැ. මගේ රූපලාවණ්‍ය කටයුතු සහ NVQ පාඨමාලාවේ කටයුතු කරගෙන යනවා.

 

ඡායාරූප - ශාන් රූපස්සර