සුන්දර දිගු ගෙලකට මෙහෙම සත්කාර කරන්න

ජුනි 13, 2022

ඔලිව් තෙල් සහ සීනි එකට මිශ්‍ර කර හොඳින් බෙල්ල ස්ක්‍රබ් කරන්න. දවස් තුනකට වතාවක් මෙය සිදු කොට වෙනස දැකගත හැකියි.

 

මුහුණේ හැඩය සුන්දරව ඉස්මතු වීමට ගෙලෙහි හැඩයත් එක ලෙස බලපායි. සුන්දර පැහැපත් දිගු ගෙලක් සෑම කාන්තාවක්ම අපේක්ෂා කරන්නේ ඒ නිසයි. මුහුණට වගේම ගෙලත් ලස්සනට තබා ගන්න නම් ගෙල පෙදෙසටත් සත්කාර කළ යුතුමයි.

 

ඒ සඳහා ව්‍යායාම ක්‍රම, සම්භාහන ක්‍රම සහ විවිධ රූපලාවණය සත්කාර කළ හැකිය.

 

ව්‍යායාම

මෙය ඕනෑම කෙනකුට නිවෙසේදී කළ හැකි සරල අභ්‍යාසයකි. ඉඳගෙන හෝ හිටගෙන මේ අභ්‍යාසය ඉතා පහසුවෙන් ඔබට කළ හැකියි.

පළමුව හිස කෙළින් තබාගෙන ඍජුව හිටගන්න. නැතිනම් ඍජුව පුටුවක ඉඳගන්නත් පුළුවන්. බෙල්ල ඍජුව තබාගෙන ඉදිරිය බලන්න. ඉන්පසු නිකටෙන් ගෙල තරමක් ඉස්සෙන සේ, එනම් කුමක් හෝ ඉස්සී නිරීක්ෂණය කරන සේ බෙල්ල දිගු කරගෙන ඉදිරිය බලන්න. එලෙස විනාඩි 5ක් පමණ සිටින්න. එම අභ්‍යාසය කරන විට ශරීරයේ සෙසු කොටස් චලනය නොකිරීමට ප්‍රවේසම් වන්න.

ඉන්පසු නිකට දකුණු පැත්තෙන් මඳක් ඉස්සෙන සේ, වම් කන වම් උරහිසේ වැදෙන ලෙස ඔළුව වම් පැත්තට විනාඩි 5ක් ඇල කරගෙන සිටින්න. ඉන්පසු ඒ ආකාරයටම එහි විරුද්ධ පැත්තට, එනම් නිකට වම් පැත්තෙන් මඳක් ඉස්සෙන සේ දකුණු කන දකුණු උරහිසේ වැදෙන ලෙස ඔළුව දකුණු පැත්තට විනාඩි 5ක් පමණ ඇල කරගෙන සිටින්න. මෙය සෑම දිනකම කළ හැකි නම් වැඩි ප්‍රතිඵල ලබා ගත හැකියි.

 

සම්බාහන ක්‍රම

පළමුව ෆේස් වොෂ් යොදා ගෙල හොඳින් පිරිසුදු කරගන්න. ඉන්පසු එඬරු තෙල් ස්වල්පයක් ඇඟිලි තුඩුවල තවරාගෙන බෙල්ලේ හොඳින් තවරා සම්බාහනය කරන්න.

එසේ නැතිනම් නැවුම් එළකිරිවලින් සම්බාහනය කරන්න. කිරි කියන්නේ හොඳ පිරිසුදු කාරකයක්. එමඟින් ඔබේ බෙල්ලේ කුණු, දූවිලි හොඳින් ඉවත් කරනවා. ඒ වගේම එළකිරි කියන්නේ සම පැහැපත් කිරීමට විශාල හැකියාවක් තිබෙන ද්‍රව්‍යයක්.

 

ඔලිව් තෙල් සහ සීනි එකට මිශ්‍ර කර හොඳින් බෙල්ල ස්ක්‍රබ් කරන්න. දවස් තුනකට වතාවක් මෙය සිදු කොට වෙනස දැකගත හැකියි. කෙසෙල් ගෙඩියක් ගෙන එය ඔලිව් තෙල් තේ හැන්දක් එක්කර තලපයක් වනතුරු මිශ්‍ර කරන්න. එම තලපය බෙල්ලේ ගල්වා විනාඩි 15කට පසුව සෝදා හරින්න.

 

ලෙමන් සහ රෝස වතුර සමාන ප්‍රමාණවලින් ගෙන හොඳින් මිශ්‍ර කොට බෙල්ල සම්භාහනය කරන්න. රැයක් පුරා එය තිබෙන්නට හැර මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න. එහෙමත් නැත්නම් ලෙමන් යුෂ තේ හැන්දකට කහ කුඩු එකට කලවම් කොට ආලේප කරන්න. විනාඩි 20ක් තිබෙන්නට හැර සෝදා හරින්න. අර්තාපල් යුෂවලින්ද බෙල්ලේ කළු පැහැය අවම කරගන්න පුළුවන්. අර්තාපල් ගෙඩියක් ගෙන පෙති ආකාරයට කපන්න. විනාඩි 5ක් 10ක් ඔබේ බෙල්ලේ කළු පැහැ වී ඇති ස්ථාන මත එම අල පෙති තබා හොඳින් පිරිමඳින්න.

 

දොඩම් ලෙලි ගෙන ඒවා වියළා කුඩු කරගන්න. එයටම නැවුම් එළකිරි හැන්දක් පමණ දමා මිශ්‍ර කර ගන්න. එය ඔබේ බෙල්ලේ ගල්වා විනාඩි 20 ක් පමණ වේළෙන්නට හැර සෝදාගන්න. දොඩම්වල අඩංගු විටමින් c වල ඇති ස්වාභාවික ප්‍රතිඔක්සිකාරක ගුණය මඟින් ඔබේ බෙල්ල අවපැහැ ගතිය කෙමෙන් ඉවත්වනවා.

හාල් කැඳ මඟින් ද බෙල්ලේ අවපැහැ ගතිය අවම කරගන්න පුළුවන්. බත් කැඳ ගෙන ඔබේ බෙල්ල හොඳින් සමබාහනය කර විනාඩි 10 ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.

මේ සත්කාර මඟින් ඔබටත් පැහැපත් දිගු ගෙලක හිමිකාරියක් විය හැකියි.

 

උපදෙස්

රූපලාවණය ශිල්පිනී Salon Nayana Art

නයනා කුමාරි