සර්ජිකල් මාස්ක් පලඳින විට මේක්අප් දාන්න එපා

දෙසැම්බර් 27, 2021

 

සුවය රැකුණොත් රුව රැකෙනවා. ඒ බව කතුන් ලෙසින් අප හොඳටම දන්නා කාරණයක්. වැඩි බඩ අඩු කර ගන්න, ඉදිරිය ට නෙරූ උදරය පැතැලි කර ගන්න අපි මොනතරම් වෙහෙසනවාද?

රුවත් රැක ගෙන සුවයත් රැක ගැනීම යුග‍යේ අවශ්‍යතාවක්. කෝවිඩ් ඒ අවශ්‍යතාව දෙගුණ තෙගුණ කරලා. කලින් කලට අලුත් වන කෝවිඩ් ප්‍රභේදවලින් බේරෙන්න අපට දිගින් දිගටම මුහුණු ආවරණ පලඳින්න වෙලා. කාර්යාලය වැනි තැනකදී මුහුණ දකින්නේ ආහාර පාන ගන්නා විටදී පමණයි. ඒ නිසා ම සමහර සගයන් කාලෙකින් මුහුණ දැක්කෙ කියලා පොඩි විහිළුවක් කරන්නත් අමතක කරන්නෙ නැහැ නේද ?

රූපලාවණ‍යයට ඇබ්බැහිවූ කාන්තාවන් ට මුහුණු ආවරණ පැලඳුවත් ආලේප නම් ගල්වන්නේ නැතුව ඉන්න බැහැ.

බොහෝ සෞඛ්‍ය සේවකයන් මාස්ක් පැලඳීමට පෙර මේක්අප් ඉවත් කරනවා. එසේත් නැත්නම් මේක්අප් නො දාම ඉන්නවා. ආසාදන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඈන් ලියූ පවසන්නේ වරක් හෝ මාස්ක්වල ආලේප තැවරුණු විට එය ඉවත්කළ යුතු බවයි. N95 මුහුණු ආවරණ විසබීජහරණය කළ හැකි නමුත් ආලේප බිඳක් හෝ ගෑවී ඇත්නම් සිදු වන්නේ ඉවත දමන්නයි. මේක්අප් දමා මුහුණු ආවරණ පැලඳීමත් නො කළ යුතු දෙයක්. එයින් මුහුණු ආවරණයේ නිමාවට හානි සිදු වෙනවා. එවිට වෛරසයෙන් නිසි ආරක්ෂාවක් සැලසෙන්නේ නැහැ.

සමේ ආරක්ෂාවට තවරන සන්ස්ක්‍රීන් වැනි දෙයක් මුහුණේ ගල්වා හොඳින් උරා ගන්නා තුරු සිටින ලෙස ට ආසාදන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඈන් ලියූ උපදෙස් ලබා දෙනවා. ආලේප කිරීම සඳහා තෝරාගත යුත්තේ තුනී ආලේපයක්. මුව වටා ගල්වන ආලේප හැකි තරම් සීමා කර නාසයෙන් ඉහළ ඇස් වටා ගල්වන ආලේපවලට මේ කාලයේ විශේෂ තැනක් දෙන ලෙසට ඇය උපදෙස් දෙනවා.

මාස්ක් නැත්නම් මුහුණු ආවරණ පලඳින්නට සිදු වීම ගැන අසුබවාදීව බලන්න එපා. සමහරුන් ගේ මුව වැසුණු පසු ඔවුන් වඩාත් ලස්සනට පෙනෙන බව රූපලාවණ්‍ය ශීල්පීන් පෙන්වා දෙනවා.

මුහුණු ආවරණ නිසා සමට නරක බලපෑම් ද නැතුවා නො වෙයි. කාලගුණ වෙනස් වීම් අපේ සමට බලපාන බව රහසක් නෙවෙයිනෙ. පරිසරයේ උෂ්ණත්වය හා ආර්ද්‍රතාවය වැඩිවීම සමට බලපානවා

මුහුණු ආවරණ මඟින් සමේ රෝම කූපවලින් පිටවන තෙල් සහ ස්නේහ ග්‍රන්ථී ස්‍රාවයන් මුහුණු ආවරණ මඟින් උරා ගන්නා නිසා සම වියළෙනවා. මේ නිසා වෙනදාට වඩා මේ කාලයේදී වැඩිපුර ජලය පානය කළ යුතුයි.

 

 

අන්තර්ජාලයෙනි