මට පන්නරය ලැබුණේ ගමෙන්

සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ අතිරේක සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල් සුනේත්‍රා ධර්මකීර්ති
ජූලි 3, 2023

 

ශ්‍රී ලංකාවේ සෑම සමාගමක්ම සංස්ථාගත කරනුයේ සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව හරහායි. ඊට අමතරව මෙම සමාගම්හි සිදුවන සෑම වෙනස්කමක්ම  ලියාපදිංචි කිරීම මෙන්ම ඕනෑම සමාගමක් නීත්‍යානුකූලව වසා දැමීම සිදු කරනුයේ ද මේ දෙපාර්තමේන්තුවෙනි.

 

1938 වර්ෂයේ දී ආරම්භ කළ මෙම ආයතනය වර්තමානය වනවිට සිය සේවාවන් සියල්ලක්ම සපයනු ලබන්නේ online සේවාවක් ලෙසිනි. එනම් ඕනෑම පුද්ගලයකුට තම නිවෙසේ සිටියදීම මෙම ආයතනික සේවාවන් සපයා ගත හැකි වේවි. EROC නම් වූ මේ ව්‍යාපෘතිය භාර කළමනාකාරිනිය ලෙසින් කටයුතු කරන්නේ සුනේත්‍රා ධර්මකීර්ති මහත්මියයි. ඇය සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ දෙවැනි අසුන හොබවන අතිරේක සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරියයි.

 

රාජ්‍ය දෙපාර්තමේන්තුවක මෙවැනි Online සේවාවක් පවත්වාගෙන යාම වූ කලී මහත් අභියෝගාත්මක කර්තව්‍යයකි. වැඩෙහි යෙදෙමින්ම ඒවායේ අඩුපාඩු හඳුනාගනිමින්, අන් අයටද මඟ පෙන්වමින් වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දෙන්නට ඕ  වෙහෙසවන්නීය.

 

ඉතින් හරි අපූරුවට ඒ අභියෝගයට මුහුණ දෙන ඇයව මෙවර තරුණී වෙත කැඳවාගෙන එන්නට අපි හිතුවා.

 

මෙරට සියලුම සමාගම් ලියාපදිංචි කරන ආයතනයේ, අතිරේක සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරිය ලෙසින් කටයුතු කරන්නේ ඔබයි. මේ භාරධූර කාර්යභාරය ගැන අපි කතා කරමු.

 

“ඇත්තටම කිව්වොත් 2018 වර්ෂයේ පටන්ම මෙම සමාගමේ සියලුම සේවාවන් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පවත්වාගෙන යනවා. එහි ආරම්භක ව්‍යාපෘති කළමනාකාර විදිහට එහි අධීක්ෂණ කටයුතු සිදු කෙරෙන්නේ මා අතින්. ඒ කියන්නේ සමාගම් සංස්ථාගත කිරීම, නාමය අනුමත කිරීම, සමාගම් කොටස් නිකුත් කිරීම, සමාගම් තුළ වෙනස්කම් සිදු කිරීමට අවශ්‍ය කටයුතු කිරීම වැනි දෑ එහිදී සිදු කෙරෙනවා. ඊට අමතරව තොරතුරු තාක්ෂණ කටයුතු අංශය භාරව කටයුතු කරන්නෙත් මමයි."

 

පුංචි කාලේ ඉඳන් ඔබේ හිතේ හීනයක් තිබුණාද අනාගතයේ මෙවැනි වගකීම් සහිත තනතුරකට පිය මනින්න.

 

" පුංචිම කාලයේ මම හිතුවේ ගුරුවරියක් වෙන්න. හැබැයි 9 -10 වගේ පන්තිවලට එනකොට ඒ ආසාව නීති වෘත්තිය පැත්තට හැරුණා. මම උසස් පෙළ සඳහා කලා විෂයයන් තෝරා ගත්තේ නීතිඥවරියක් වෙන්න ඕනේ නිසාමයි."

 

ඊට පස්සේ........

“ 1995 වර්ෂයේ හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ දක්ෂතම සිසුවියට හිමි සම්මානය ලබාගෙන තමයි මම කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් වුණේ. ඊට පස්සේ නීතිඥවරියක විදිහට දිවුරුම් දීමෙන් අනතුරුව කෙටි කාලයක් අලුත්කඩේ උසාවි සංකීර්ණයේ  වැඩ කළා. ඉන්පසුව සහකාර සමාගම් රෙජිස්ට්‍රාර්වරියක ලෙස මේ

 

සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවට එකතුවුණු මම අනතුරුව නියෝජ්‍ය සමාගම් රෙජිස්ට්‍රාර් විදිහටත්, සමාගම් රෙජිස්ට්‍රාර් විදිහටත් කටයුතු කළා. මේ වසරේදී තමයි අතිරේක සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල් තනතුරට යොමු වුණේ.“

 

පියවරෙන් පියවරට ආපු හොඳ ගමනක්. මේ ගමනට පන්නරය නම් ලැබෙන්න ඇත්තේ පුංචි කාලේ ගමේ දී ලැබුණු අපූරු අත්දැකීම් නේද?

"ඇත්තටම ඔව්. අපි මේ රටේ දුෂ්කර කාල පරිච්ඡේද ගත කරපු, අමාරුවෙන් ශිල්ප හදාරපු දරු පරපුරක අය. කන්න බොන්න, ඉන්න හිටින්න තැන් නැතිව නෙමෙයි. හැබැයි ගමක ඉපදිලා නගරයට ඇවිත් අධ්‍යාපනය හදාරද්දී අත්විඳින්නට ලැබෙන දුෂ්කරතා බොහෝමයි. අවිස්සාවේල්ල, වග කියන්නේ මගේ ගම. හරිම සුන්දර ගමක්. ඇළේ දොළේ නාලා, වත්ත පිටියේ දුව පැනලා, හැතැප්ම ගණනක් පයින් ඇවිදලා හරිම ලස්සන ජීවිතයක් ගෙව්වා. ඇත්තටම ඒ විදිහට ලැබුණු පන්නරය තමයි මගේ ජීවිතයේ ඕනෑම අභියෝගයකට ධෙර්යයෙන් මුහුණ දෙන්නට තරම් හැකියාව ඇති කළේ.“

 

ඔබේ පෞද්ගලික ජීවිතය ගැනත් සඳහන් කරමු.

 

“මගේ සැමියා සනත් වීරසිංහ. විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ රාජකාරි කරන්නේ. පුතාලා දෙන්නා තවමත් පාසල් යනවා. මගේ දරුවෝ,සැමියා රැකියාවට අවශ්‍ය නිදහස සපයා දීලා තියෙනවා. එයාලට හැකි උපරිමයෙන් මට සහයෝගය දෙනවා. ඊට අමතරව මගේ මවුපියෝ දෙන්නා ජීවත් වෙන්නෙත් මා සමඟ. දිනපතා ඔවුන්ගේ සියලු කටයුතු සිදුවන්නේ මගේ දෑතින්. දරුවන්ගේ පාසල් වැඩ, ගෙදර දොර කටයුතු මේ සියල්ලම හරියාකාරව ඉටු කරමින් දරුවෝ එක්ක සෙල්ලම් කරන්න පවා මම වෙලාව සොයා ගන්නවා."

 

අපේ කාන්තාවන්ට ඔබ හොඳ ආදර්ශයක්....

" කාන්තාවන්ට වගකීම්, යුතුකම් බොහෝමයි. හැබැයි ඒ සියල්ල අනවශ්‍ය පීඩනයකින් තොරව සමබරව පවත්වාගෙන යන්න අපි දැනගන්න ඕනේ. ඒ වගේම තමයි කාන්තාවක් කියලා නෑ. පුංචි කාලේ ඉඳන් හොඳට ඉගෙන ගන්න ඕනෑ. ඇයට තනියම හෝ නැඟී සිටින්නට ශක්තිය ලබාගත යුතුයි. පසු කලෙක ජීවිතයේ ජයග්‍රහණ අත්විඳිද්දි එහි වටිනාකම ඔබට අවබෝධ වේවි.“

 

 

ඡායාරූප - ශාන් රූපස්සර