මම භාෂා දේශප්‍රේමියෙක් උපේඛා ද්‍රෞපදී රාජපක්ෂ

මැයි 26, 2025

වෘත්තියෙන් භාෂා පරිවර්තිකාවක වන උපේඛා ද්‍රෞපදී රාජපක්ෂ බදුල්ල ප්‍රදේශයේ උපත ලබා බණ්ඩාරවෙල විශාකා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ද, මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ද හදාරා ඇත. ඇය ප්‍රංශ භාෂා විශේෂවේදී උපාධිය ලබන්නේ කැලණිය විශ්වවිද්‍යාලයෙනි. අනතුරුව වසර දෙකක් කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරියක ලෙස ද, වසර 10ක් බාහිර කථිකාචාර්යවරියක ලෙස ද සේවය කර ඇත. ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයෙන් භාෂා පරිවර්තනවේදය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබන ඇය, ජේ. ආර්. ආර්. ටෝල්කින්ගේ The lord of the Rings කෘති පෙළ පරිවර්තනය කරමින් සාහිත්‍ය පරිවර්තනයට ද යොමු වී සිටින්නීය.

 

වර්තමානයේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ පදමාලා සම්පාදන ඒකකයේ ඒකක ප්‍රධානි ලෙස ද භාෂා පරිවර්තිකාවක ලෙස ද සේවය කරන ඇය භාෂා පරිවර්තන විෂයය පිළිබඳ න්‍යායික සහ ප්‍රායෝගික පුහුණුව ලබාදෙන සම්පත්දායිකාවක ලෙස ද කටයුතු කරන්නීය.

 

ඔබ භාෂා ප්‍රේමියෙක්. භාෂා කිහිපයක් අධ්‍යයනය කළ කෙනෙක්. භාෂා අධ්‍යයනය සහ භාෂා පරිවර්තනය පිළිබඳ මේ ඇල්ම උපදින්නෙ කොහොමද?

 

භාෂාවට මගේ ඇල්මක් ඇති වුණේ පුංචි කාලයේ ඉඳලාමයි. මම දැඩිව පොත් කියවීමට ඇබ්බැහි වූ කෙනෙක්. දේශීය, විදේශීය සාහිත්‍යය කිසිම භේදයකින් තොරව, අතට අහුවුණු සෑම දෙයක්ම කියෙව්වා. මගේ භාෂා හැකියාව මටත් නොදැනීම වර්ධනය වුණේ එතැනින්. සාහිත්‍යය මගේ ජීවිතයට ආභරණයක් වුණා. ඇතැම් පරිවර්තන කෘති කියවන විට, ඒවා මුල් භාෂාවෙන්ම කියවන්නට ඇත්නම් කියා සිතුණු අවස්ථා තිබුණා. මේ කතාව සිංහලෙන් මේ තරම් රසවත් නම් මුල් භාෂාවෙන් කොයිතරම් රසවත් ඇති ද කියා සිතුණු අවස්ථා තිබුණා. කවදාහරි පොතක් ලියනවා කියලත් මම ඒ කාලයේ හිතුවා.

භාෂාවක් ඉගෙනීම මම අභියෝගයක් විදිහට මෙන්ම විනෝදාංශයක් විදිහටත් සලකනවා. මම එක් එක් භාෂාවන් ඉගෙන ගත්තේ එකිනෙකට වෙනස් හේතු නිසාවෙන් වගේම වෙනස් ක්‍රම භාවිතයෙන්. මගේ සිංහල භාෂාව මුළුමනින්ම හැඩගැස්වුණේ කියවපු පොතපත නිසයි. පාසලේ දී දෙමළ භාෂාව යම් දුරකට ඉගෙන ගත්තත් දෙමළ හෝඩිය මම තනියෙන්ම ඉගෙන ගත්තා. සාමාන්‍ය පෙළට ඉංග්‍රීසි සාහිත්‍යය හැදෑරුවා. උසස් පෙළට භාෂා විෂය ධාරාව තෝරා ගන්නා විට ඉංග්‍රීසි සාහිත්‍යය සමඟ ප්‍රංශ භාෂාව හදාරන්නට මට අවස්ථාව ලැබුණා. විශ්වවිද්‍යාලයේදී ප්‍රංශ භාෂා විශේෂවේදී උපාධිය හදාරන අතරම මට ස්පාඤ්ඤ භාෂාවත් හදාරන්නට ලැබුණා. මාසයක කාලයකට ස්පාඤ්ඤයට ගිහිල්ලම ඒ භාෂාව හදාරන්නට මට ශිෂ්‍යත්වයක් ලැබුණා. ඒ වගේම මගේ ප්‍රංශ භාෂා

දැනුම නිසා එක්සත් රාජධානියට ගොස් භාෂා පරිවර්තනය පිළිබඳ පශ්චාත් උපාධියක් හදාරන්නටත් ශිෂ්‍යත්වයක් හිමි වුණා.

හින්දි සිනමාවට පැවති ඇල්ම නිසා මම තනියෙන්ම හින්ද භාෂාව ලියන්න, කතා කරන්න ඉගෙන ගත්තා. මේ දිනවල මම විනෝදයට දුරකතන ඇප් එකක් හරහා අරාබි භාෂාව ඉගෙන ගන්න උත්සාහ කරනවා. ඒ භාෂාවේ ශබ්දයට මම ඉතාමත්ම කැමති නිසා.

 

ඔබ භාෂා පරිවර්තිකාවක් වගේම සාහිත්‍ය පරිවර්තනයටත් යොමු වෙලා තියෙනවා. මේ කාර්යයන් දෙක අතර සමාන, අසමානතා පැහැදිලි කළොත්?

 

බැලූ බැල්මට වෘත්තීය භාෂා පරිවර්තනයත්, සාහිත්‍ය පරිවර්තනයත් එකම දේ වගේ පෙනුණට, ඒ දෙක සමාන වෙන්නේ එක් භාෂාවකින් ලියැවී ඇති දෙයක් තවත් භාෂාවකට පෙරළීම කියන තැනදී පමණයි. ඇත්තෙන්ම ලංකාවෙ අපි වැඩි දෙනෙක්ට පරිවර්තනය කිව්වම ඔළුවට එන්නේ සාහිත්‍ය පරිවර්තනය ගැන පමණයි. අපි හැමෝම සිංහලයට පරිවර්තනය වුණු එක පොතක් හෝ කියවා තිබෙනවා. සාහිත්‍ය පරිවර්තකයා කරන්නේ වෙනත් භාෂාවකින් ලියැවුණු කතන්දරයක්, තවත් භාෂාවකින් අලුත් පාඨක පිරිසක් වෙත ගෙන ඒමයි. වෙනත් සංස්කෘතියක්, වෙනස් ආකාරයේ සිතුම් පැතුම් රටාවක් පාඨකයාට හඳුන්වා දීමයි. එතැනදී නිර්මාණශීලී වීමට පරිවර්තකයාට තරමක නිදහසක් තිබෙනවා.

 

රාජ්‍ය භාෂා දෙකක් ඇති රටක් වුණත්, වෘත්තීය පරිවර්තනය කියන්නේ ලංකාවේ අදටත් එතරම් අවධානයක් යොමු නොවුණු, ක්ෂේත්‍රයක්. වෘත්තීය භාෂා පරිවර්තනයේදී අපි කරන්නේ කිසියම් පුද්ගලයකුගේ, ආයතනයක අවශ්‍යතාව අනුව යම් ලේඛනයක් පරිවර්තනය කිරීමයි. සාහිත්‍ය පරිවර්තනයත් එක්ක බලනවිට වෘත්තීය පරිවර්තනයේදී අපට නිර්මාණශීලී වෙන්න තියෙන ඉඩ අඩුයි. අපි වැඩි අවධානයක් දෙන්නේ අදාළ පණිවුඩය නිවැරදිව ඉලක්කගත භාෂාවෙන් සමාජයට ලබා දීමටයි.

 

ජේ. ආර්. ආර්. ටෝල්කින්ගේ The Lord of the Rings කෘති පෙළේ පොත් දෙකක් ඔබ පරිවර්තනය කර තිබෙනවා. එය පහසු කටයුත්තක් නොවන බවයි අපගේ හැඟීම. මෙබඳු කෘති පෙළක් පරිවර්තනය කිරීමේ දී ඔබ මුහුණ දුන් අභියෝග මොනවාද?

 

මම පරිවර්තනයට යොමු වුණේම Lord of the Rings කෘතිය නිසයි. පරිවර්තනය ගැන කිසිම හැදෑරීමකින් තොරව, ඉංග්‍රීසි, සිංහල දැනුමින් පමණක් සන්නද්ධ වෙලයි මම වැඩේට අතගැහුවේ. ටොල්කින් කියන්නේ ඉංග්‍රීසි භාෂාවත් සමඟ අපූරු හරඹ කරපු, ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂ සම්පාදක මණ්ඩලයේ පවා කටයුතු කළ වාග් විද්‍යාඥයෙක්. කතන්දරය ලියවිලා තියෙන්නේ වීරකාව්‍ය සම්ප්‍රදායෙන්. ඔහු භාෂාව හැසිරවීමේ අති දක්ෂයෙක්. ඔහුගේ ලේඛන ශෛලිය දීර්ඝ පරිසර වර්ණනා, අතිශයෝක්ති, උත්ප්‍රාසය වගේ දෙයින් පිරිලා. අනෙක මේ කෘතිය සැලකෙන්නෙත් නූතන ෆැන්ටසි සාහිත්‍යයේ පෙරගමන්කරුවා ලෙස. මුළුමනින්ම කල්පිත ලෝකයක, කල්පිත ජන ‌කොට්ඨාස, කල්පිත ඉතිහාසය, ටොල්කින් විසින්ම නිර්මාණය කරන ලද භාෂා, හැම පරිච්ඡේදයකම පාහේ ඇති පද්‍ය නිර්මාණ නිසා මේ කාර්යය ඉතාමත්ම බරපතළ, සංකීර්ණ එකක් වුණා. කවි ප්‍රතිනිර්මාණය කිරීමේදී සිංහල කවියකුගේ උපකාර පවා පතන්නට මට සිදු වුණා.

 

මෙය තවත් සංකීර්ණ වුණේ මෙම කතාවට පෙර එන The Hobbit කෘතිය කවීෂ නඳුන්

කග්ගොඩආරච්චි විසින් ඒ වනවිටත් සිංහලයට පරිවර්තනය කර, ජනාදරය දිනාගත් කෘතියක් වීම නිසයි. ඒ කතාවේම දිගුවක් වන මෙය, ඒ පාඨකයන්ටත් අසාධාරණයක් නොවන ලෙස, ඊට අනුකූල වන විදිහට කරන්න සිදු වුණා. මම කවීෂට ස්තුති වන්ත වෙනවා ඔහු ඒ වනවිටත් ලබාගෙන තිබූ ප්‍රකාශන අයිතිය මාත් සමඟ බෙදාගෙන, සම-පරිවර්තකයන් ලෙස පොත එළිදක්වන්න කැමැත්ත පළ කිරීම ගැන.

භාෂා පරිවර්තන විෂය හදාරන විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් පුහුණු කිරීමේ කටයුත්තෙත් ඔබ නියැළෙනවා. භාෂා පරිවර්තන විෂයයේ පවත්නා කාලීන වැදගත්කම ගැන කතා කරමු.

 

“වෘත්තීය භාෂා පරිවර්තනය දියුණු කිරීමේ වැදගත්කම අවබෝධ කරගත් රාජ්‍ය විශ්වවිද්‍යාල හතරක දැන් භාෂා පරිවර්තනවේදය ගැන විශේෂවේදී උපාධි පාඨමාලා පැවැත්වෙනවා. කැලණිය, සබරගමු, යාපනය, නැඟෙනහිර විශ්වවිද්‍යාලවල. මෙම සිසුන් අවසන් වසර ප්‍රායෝගික පුහුණුව සඳහා ඔවුන්ගෙන් බහුතරයක් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට එනවා. එහිදී ඔවුන්ට රාජ්‍ය සේවය තුළ භාෂා පරිවර්තන කටයුතු සිදු කෙරෙන ආකාරය නව තාක්ෂණික මෙවලම් භාවිතයෙන් පරිවර්තන කටයුතු කිරීම, පරිවර්තන ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා හඳුන්වා දීම, ස්වෛරී පරිවර්තකයන් ලෙස ගොඩනැඟෙන ආකාරය, දේශීය හා විදේශීය උසස් අධ්‍යාපන අවස්ථා පිළිබඳ ඔවුන්ට මඟපෙන්වීමක් පවා අපි ලබා දෙනවා.

 

මෙම පුහුණු වැඩසටහන්වලට උපකාරක මෙවලමක් ලෙස, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තු

පරිවර්තකයන්ගේම සම්පත්දායකත්වයෙන් භාෂා පරිවර්තක අත්පොත සිංහල/ ඉංග්‍රීසි සහ දෙමළ /ඉංග්‍රීසි ප්‍රවර්ග යටතේ අපි පළ කරලා තියෙනවා.