ගෙදර Solar panel එක වැඩ කරන්නේ කොහොම ද?

ජූලි 14, 2025

විදුලිය අපේ එදිනෙදා ජීවිතයේ පැවැත්මට නැතිවම බැරි අංගයක් වුවත් විදුලි බිල බොහෝ අයට මානසික හිසරදයක්ව පවතී.

යහමින් හිරු එළිය ලැබෙන අප රටට සූර්ය බල පද්ධති මඟින් විදුලිය නිපදවා ගැනීම අතිශය වැදගත් වේ.

සූර්ය බලය පුනර්ජනනීය බලශක්තියකි. අද වන විට බොහෝ දෙනා Solar panel භාවිතය කෙරෙහි හුරුව සිටිති. මේ වන විට වහලය මත ජාලගත කර ඇති Solar panel ලක්ෂය ඉක්මවා යමින් පවතී. එමඟින් මෙගාවොට් 1700කට වැඩි ප්‍රමාණයක් මධ්‍යම ජාලය වෙත සම්බන්ධ වෙමින් පවතී. ඒ ආශ්‍රිත රැකියා කරන ආයතනද තුන්සීයකට වැඩි ප්‍රමාණයක් සුනිත්‍ය බලශක්ති අධිකාරිය සමඟ ලියාපදිංචිව සේවා සපයයි.

මෙවැනි සූර්ය බල සේවා සපයන ආයතනයක සහාය ලබා ගනිමින් Solar panel එකක් සවි කරන්නට සුදුසු ස්ථානයක් ද යන්න සොයා බලා එය සවි කරයි. ඉන්පසු එහි නඩත්තුව පිළිබඳ සොයා බැලිය යුතුයි. මේ සඳහා සුදුසුකම් ලබන්නේ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපදිංචි සූර්ය බල සේවා සපයන ආයතනයි. ඒවායේ සිටින සුදුසුකම් ලත් තාක්ෂණික ශිල්පීන්, ඉංජිනේරුවරුන් ගේ සහාය ලබා ගැනීමෙන් මෙම පද්ධතිවලට මනා නඩත්තු සේවාවක් ලබාගත හැකි වේ.

සාමාන්‍යයෙන් මෙවැනි Solar panel එකක ආයු කාලය වසර 25ක් 30ක් තිහක් පමණ වේ. එම කාලය ඒ අයුරින්ම පවත්වාගෙන යාමට නම් වාර්ෂිකව අදාළ නඩත්තු කටයුතු සිදු කළ යුතුයි. සාමාන්‍යයෙන් Solar panel සහ Inverter සඳහා වසර ගණනාවක වගකීම් සහතිකයක් හිමිවෙයි.

පද්ධතියක් සවිකර පළමු වසර තුළ නඩත්තු වාර දෙකක් හෝ සිදුකළ යුතුයි. ගෘහස්ථව සවි කරන Solar panel ද නඩත්තු කටයුතු ඒ අයුරින්ම සිදුකළ යුතුයි. අදාළ උපකරණ සඳහා වසර ගණනාවක වගකීම් සහතිකයක් නිකුත් වුවත් නඩත්තු සහ සේවාවන් සඳහා හිමිවනුයේ වසර දෙකක පමණ කාලයකි.

සෑම ගෘහස්ථ ජාලගත පද්ධතියක්ම පාහේ ඔන්ලයින් මඟින් තමන්ගේ ජංගම දුරකතනය හෝ ලැප්ටොප් එක මඟින් නිරීක්ෂණය කළ හැකියි.

මාසික විදුලි බිලේ ඒ සඳහා වැයව ඇති ඒකක ගණන සඳහන් වේ. තමන්ගේ විදුලි බිල අඩුවන ක්‍රමවේදය හෝ විදුලි බිලෙන් කොටසක් ගෙවී හෝ ඉතිරි කොටස මුදල් ලෙස ලැබෙන ක්‍රමවේදය පාරිභෝගිකයන් බොහෝවිට අනුගමනය කරයි. සාමාන්‍යයෙන් විදුලි පරිභෝජනය ඉහළ අගයක් ගතහොත් තමන්ගේ සූර්ය බල පද්ධතියේ ඒකක ගණනට වඩා වැඩියෙන් පරිභෝජනය කර ඇත්නම් ඒ වැඩිවන ප්‍රමාණයට ගෙවීම් කළ යුතුවේ. සූර්ය බල පද්ධතියේ යම් දෝෂයක් ඇතිවී යම් බිඳවැටීමක් සිදුවුවහොත් එම මාසයට අදාළ විදුලි බිල ගෙවීමට සිදුවේ. මේ නිසා නිරතුරුවම සූර්ය බල පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳ විමසිල්ලෙන් සිටිය යුතුවේ.

කාලගුණය අනුවද සූර්ය බල පද්ධතිය පණ ගැන්වෙන අයුරු වෙනස් වේ. සාමාන්‍යයෙන් කිලෝ වොට් 5ක පමණ ධාරිතාවක් උදාහරණයට ගතහොත් මසකට ඒකක 500ක 600ක පමණ ප්‍රමාණයක් සෑදේ. නිරතුරුවම වර්ෂාව ලැබුණහොත් හෝ සූර්යබල පද්ධතියේ යම් විචල්‍යතාවක් ඇති වුවහොත් එය පණ ගැන්වෙන අයුරු අඩුවිය හැකියි. එහිදී වැඩියෙන් විදුලිය පරිහරණය කර තිබුණහොත් විදුලි බිල වැඩියෙන් ගෙවන්නට සිදුවේවි. ඒ අනුව සූර්ය බල පද්ධතිය සවි කරන්නට සැලසුම් කරද්දීම තම පරිසර පද්ධතිය පිළිබඳ තත්ත්ව සහතිකයක් ලබා ගැනීම කෙරෙහි ද සැලකිලිමත් විය යුතු වෙයි.

මෙය Solar බිලේ සඳහන් වන්නේ Import, Export ලෙසයි. මධ්‍යම ජාලයේ විදුලිබල මණ්ඩලයෙන් විදුලිය ලබා ගත්තේ නම් එය Import ලෙසත් සූර්ය බල පද්ධතියෙන් විදුලිය ලබා ගත්තේ නම් Export ලෙසත් සඳහන් වෙයි.

Solar panel ජාතික ජාලය සමඟ සම්බන්ධ කෙරෙන ගිවිසුම්ගත වීම් ක්‍රම කිහිපයකි.

Net accounting – මාසය තුළ නිපදවූ ඒකක සංඛ්‍යාවට අනුව විදුලි බිල අඩු කර අමතර ඒකකවලට ගෙවීමක් සිදුකරයි.

Net metering – ඔබ නිපදවා ඇති ඒකකවලට අනුව විදුලි බිල අඩුකරන අතර අතිරික්ත ඒකක ඉදිරි බිලට ගෙනයනු ලබයි.

Net plus – විදුලි බිල ඔබ පුරුදු ලෙසම ගෙවාගෙන යන අතර ඉහත සඳහන් මිල ගණන්වලට අනුව අතිරික්ත ඒකකවලට ගෙවීමක් සිදුකරයි. මෙය අඩු විදුලි පරිභෝජනයක් ඇති අයට ආයෝජන ක්‍රමයක් ලෙස වඩාත් සුදුසු වේ.

Solar panelවලට ඇති ලොකුම බාධාව නම් සෙවණයි. වටේට ඇති ගස්වලින්, ගොඩනැඟිලිවලින්, විවිධ සෘතු අනුවත් මෙය සිදුවේ.

මාස හයකට වතාවක්වත් Solar panel සෝදා පිරිසුදු නොකරන්නේ නම් සතුන්ගේ වසුරු ආදිය වැටීමෙනුත් බාධා ඇතිවේ.

තාක්ෂණික ශිල්පීන්ගේ සහාය ලබාගෙන ඉන්වටර්ස්, භූගත සවිකිරීම්, මූලික සවිකිරීම්වලට වඩා පසුව වෙනස්වීම් සිදුව ඇද්ද ආදිය පරීක්ෂා කොට වාර්තාවක් ලබාගත යුතුයි. දිගු කාලීන වගකීම සහ පැවැත්ම ඇත්තේ එවිටයි. එලෙසින් සූර්ය බල පැනල පවත්වාගෙන යන්නේ නම් එහි අස්වැන්න වැඩි වේවි. ආදායම වැඩිවේ. පසුම්බියට ද වාසිසහගත වේ.

 

 

උපදෙස් :

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ව්‍යාපෘති සම්බන්ධීකරණ නිලධාරි පද්මදේව සමරනායක