වර්ෂ 2025 ක්වූ July 14 වැනිදා Monday
එයා කවදාවත් මගේ කැමැත්තට ඉඩ දුන්නෙ නෑ...

අවන්හල ටිකෙන් ටික ආගන්තුකයන්ගේ ග්රහණයට නතු වෙමින් තිබෙයි. ඔවුන් සිටින අන්තය වෙත පැමිණෙන යොවුන් යුවළෙහි යුවතිය නිගූ දෙස බලා හැඳිනගත් බව හඟවන මඳ සිනහවක් පා ඔවුන් සිටි තැන පසු කරයි. නිගූ ඇය වෙත ආචාරශීලී සිනහවක් පෙන්වා අතැති දුම්වැටිය අළු බඳුනෙහි රඳවා තවත් විස්කි වඩියක් වත්කර ගනියි.
කාංචනා තමා සමඟ කියූ දේ දැනගන්නට නිගූ උත්සාහ කරන බව සාලින්ද දනියි. එහෙත් නිගූගේ මුහුණ දෙස බලාගෙන ඈ කී සියල්ල එලෙසින්ම කිව නොහැකිය. ඇගේ වචන ඒ තරම්ම මුවහත් විසකුරු වචනයි. දැන් ඇය නිගූගේ කිසිදු හොඳක් නොදකියි. නිතර පාරවල් අමතක වීම, ගමනක් යන විට කාංචනාට මොනවා හෝ ගැනීමට අවැසි වුවත් 'තව ඉස්සරහින් බලමු' යි කියමින් ගමනාන්තයටම පැමිණීම, බබා හම්බ වීමට සිටියදී කැලේ කඩෙන් ඌරු මස් බත් එකක් ගෙනත් දෙන්නැයි කළ ඉල්ලීම අමතක කිරීම, ඈ කතරගම යාමට ආසාවෙන් සිටියත් අම්මාගේ කැමැත්තට ශ්රී මහා බෝධියට යන්නට තීරණය කිරීම කාංචනා නිතර කියවන නිගූගේ වැරදි අතර වෙයි. කාංචනා සමඟ සාලින්ද මේ දේවල් ගැන කතා කරන විට ඈ කී දෙයකින් සාලින්ද තුළද එකවරම තිගැස්මක් හට ගත් දෙයක් තිබෙයි. ගිනිගෙන දැවෙන වියරු නරුම, කවරෙකු වුවද පසාරු කරන සරදම්කාරී බැල්මක් රැඳ වූ නෙතින් යුතු ඇගේ වචන ඊසර මෙනි.
" යාළු වෙච්ච මුල් කාලේ ඉඳලා එයා මගෙත් එක්ක එක එක සෙක්ෂුවල් එක්ස්පෙරිමන්ට් කළත් එයාට බැරි වුණා කවදාවත් මාව හරියටම සතුටු කරන්න.."
ඇගේ මේ තියුණු වචනවල රැඳී ඇත්තේ දරුණු පලිගැනීමේ චේතනාවකි. මේ තරම් වෛරී හැඟීමක් ආදරේ කළ හිතක ඇති වන්නට අපේ එකා මේකිට කළ වරද මොකක්දැයි සාලින්දට සිතෙයි. නිගූ කෙරෙහි අසීමිත අනුකම්පා සහගත හැඟීමක් ද ඔහු තුළ ඇති වෙයි. එහෙත් කාංචනාගේ පැත්තෙන් ද කතාවක් තිබෙයි. පෙම් බැඳුමක් හෝ යුග දිවියක් මෙලෙස දෙදරා යන හැම විටකම දෙපාර්ශ්වයට ඇත්තේ දෙආකාර කතාවක් බව සාලින්ද හොඳින් දනියි. උනුන් කෙරෙන් දික්කසාද වීමේ අපේක්ෂාවෙන් නීති උපදෙස් පතා සාලින්ද වෙත පැමිණෙන සෑම යුවළකගේම බැඳීම් යළි පිරිද්දිය හැකිදැයි සාලින්ද මුලින්ම සිතයි. එහෙත් එය සිතන තරම් පහසු දෙයක් නොවෙයි. කාලයක් එකට ජීවත් වීමෙන් එකිනෙකා තුළ ඇති හොඳ ගතිගුණ මෙන්ම වැරදි අඩුපාඩු ද ඔවුහු හොඳින් හඳුනති. එක් පාර්ශ්වයකින් සිදුවන සුළු වරදක් ඉස්මතු වී සැකය ඊර්ෂ්යාව ආදී අඳුරු හැඟීම්වලින් ඔද්දල් වී පසුව උනුන් දැකීමත් නුරුස්සන නයිපොළොං වෛරයක් බවට පත් වන්නේ කෙසේ දැයි වරෙක සාලින්දට ද සිතාගත නොහැකියි. එය ඒකාකාරී ජීවන රටාව නිසා ඇතිවන එපා වීමක් දැයි ඔහු කල්පනා කරයි.
තම යුග දිවිය වෙත අන්තරාවර්තීව බැලූ විටද එවැනි එපාවීම් කලකිරීම් ඇති වුණු කාල පරිච්ඡේද තිබෙයි. සිත තුළ ඇතිවන එවැනි විපර්යාස පිටතට නොපෙන්වා ඇතුළතින්ම දරා ගැනීමට හුරු විය යුතු යැයි සාලින්දට සිතෙයි. කළ යුත්තේ සිත් රිදවන ඇනුම් පදත්, වදන් පිහිතුඩුත් මෙල්ල කරගෙන එම කාලය ගෙවා දැමීමයි.
සතියක් දෙකක් ගත වන විට යහනේදී හෝ දුවත් පුතාත් පන්තිවලට දමා ආපසු පැමිණි සති අන්තයක සාලයේ සෝෆාව මතදී හෝ සිදුවන රුදු රමණ දඟයකින් අනතුරුව එම එපාවීම් කලකිරීම් සිඳී යන බව සාලින්ද දනියි. එහෙත් නිගූ සහ කාංචනා අතර ඇති වී ඇත්තේ ඊට වඩා සංකීර්ණ තත්ත්වයකි. කාංචනා සාලින්ද සමඟ කළ කතාබහේදී ඈ කිහිපවරක්ම දෑස් ද නාසය ද අතැති ලේන්සුවකින් පිස දමමින් කතා කරයි. විටෙක ඇයට කඳුළු වාවාගත නොහැකි වුණු විට කම්මුල් දිගේ ගලන්නට ඉඩ දී හිස් බැල්මෙන් නෙත දුරක රඳවයි. යළි හැඬුම් ස්වරයෙන්ම සාලින්ද සමඟ හැම විස්තරයක්ම නොපැකිල පවසයි. සාලින්ද ඉදිරිපිට තම හැඟුම්වලට ඉඩ දීම ඇයට පහසුවක් ඇති කරයි. තමා කියන හැම වචනයක්ම සාලින්ද නිගූ සමග කියනු ඇතැයි කාංචනා සිතන නමුත් සාලින්ද දැනටමත් නිගූ සමඟ කිව යුතු නොකිය යුතු දේවල් තෝරා බේරා ගෙන හමාරයි.
" එයා කවදාවත් මගෙ කැමැත්තට ඉඩ දුන්නෙ නෑ... එයාට හැම තිස්සෙම ඕෙන වුණේ එයාගේ අම්මා කියන දේ කරන්න.. මං කොච්චර කළත් අම්මා ඉස්සරහ මං පහළට වැටෙනවා.. සාලින්ද අයියේ ඔයා තේරුම් ගන්න. මේක මේ නැන්දයි ලේලියි අතර සිද්ධ වෙන සාම්ප්රදායික ගැටුම නෙවෙයි. නිගූට බෑ අම්මගෙන් ගැලවිලා හිතන්න.. ඒකයි මේ හැමදේටම මුල.. මමත් මනුස්ස ගෑනියක්.. මමත් ආසයි කසාද ජීවිතේදී තමන්ගෙ මිනිහගේ ලෝකෙ රැජින වෙන්න.. "
කාංචනාගේ කඳුළු සුසුම් මුසු දැඩි ස්ථිර වචන සාලින්ද දියාරු කරයි. ඒ මොහොතේදී වැඩිහිටියෙකු ලෙස හෝ මිතුරෙකු ලෙස උපදෙසක් හෝ සැනසිලි වදනක් කියන්නට තමා අසමත් වූ අයුරු ඔහු දැනුත් ලජ්ජාව මුසු පරාජිත හැඟීමකින් සිහිපත් කරයි.
ඉර ගිලී පැයක් හමාරක් ගෙවී තිබෙයි. කවුළුවෙන් එපිට ඈත තැනින් තැන බොඳ වී දිලෙන එළි කිරණ වරායට සමීපව නැංගුරම් ලූ නැවකින් විහිදෙයි. වඩියෙන් වඩිය ගෙන මත්ව සිටින නමුදු නිගූ නිහඬයි. දඹු වැටිය ඇඟිලිකරු අතරට ළං වෙද්දී උගුරු කිහිපයක් ඇද ෆිල්ටරය අළු බඳුනෙහි ලූ නිගූ තවත් සිගරට්ටුවක් දල්වන්නට සැරසෙයි. අළු බඳුන උතුරා යන තරම් ෆිල්ටර් පිරී තිබෙයි.
" දැන් නවත්තපං ඕක.. කීයක් බිව්ව ද? පපුව තම්බ ගත්ත කියලා ප්රශ්නවලට උත්තර හම්බ වෙන්නෑ.. මං උඹට එක දෙයක් කියන්නම්. මං කැමතියි උඹව හරියටම තේරුම් ගත්ත ගෑනියෙකුගේ ආදරේ උඹ විඳිනවට.. ළමයා හින්දවත් උඹ ජීවිතේ විඳවනවට මං නම් කැමති නෑ.."
නිගූගේ හිස පහතට බර වෙයි. ඇස ෆිල්ටර් ඉතිරෙන අළු බඳුන මත රැඳී තිබෙයි. නිගූට සාරාගේ හුරතල් මුහුණේ දුඹුරු පාට මැජික් ඇස් මැවී පෙනෙයි.
තවත් කොටසකින් හමුවෙමු