වර්ෂ 2025 ක්වූ July 14 වැනිදා Monday
වංචාව

"මේ බලන්න මැඩම්, දවස් හතර පහකටම ඇතිවෙන්න රෙදි, මේ බෑග් එකේ තිෙයනවා.ටික කලක් මෙහෙ නවත්වලා තියන්න බලාගෙනයි ගෙනත්දාලා තියෙන්නේ. ඇයි ඉතින් අපි ඉන්නවනේ කවන්න, පොවන්න, නාවන්න, රෙදි හෝදන්න. මේක මහලු මඩමක් කියලා හිතාගෙන ඇති."
කොහොමත් කට සැර ගැහැනියක වන ස්වර්ණා කියවයි. ඇගේ හැටි දන්නා මා ඇයට උපදෙස් දීමට ගියේ නැත. කියෙව්වාට ස්වර්ණා තම රාජකාරිය අකුරට ඉටුකරයි.
එදිනම හවස මා වාට්ටුවට යන විට ස්වර්ණා, සිරියාවතී අම්මාට බත් කවමින් සිටියාය. සිරියාවතී අම්මාට පිරිසුදු ඇඳුම් අන්දවා තිබුණු අතර කොණ්ඩය පීරා ගොතා ගෝස් පටියකින් බැඳ තිබුණි .
" ස්වර්ණා, සිරියාවතී අම්මට හරි ආදරෙයි වගේ."
" මොනවා කරන්න ද මැඩම්, මගේ අම්මත් මේ තත්ත්වෙමයි. ගෙදර ගියත් මට මේ රාජකාරි ටික මෙහෙමම තිෙයනවා"
ස්වර්ණා කීවේ සුසුමක් හෙළා ළය සැහැල්ලු කරගනිමිනි.
" ඩොක්ටර් දීලා තියෙන නම්බර් එකට කීපසැරයක්ම කතාකළා. රෝන්ග් නම්බර් එකක් කියනවනේ." හෙදිය පැමිණ පැවසුවාය.
" එහෙමනම් අපිට පොලීසියට ඉන්ෆෝම් කරන්න වෙයි. මොකක්ද දීලා තියෙන එඩ්රස් එක."
හෙදිය පැවසූ ලිපිනය රෝහලට ආසන්න ගමක ලිපිනයකි.
" මැඩම්, පිරිමි වාට්ටුවේ වැඩකරන ජයසිරි නම් ඔය පැත්ත ගැන දන්නවා ඇති."
ස්වර්ණා කීවාය.
" එහෙනම් බත් ටික කවලා ගිහින් ජයසිරිව එක්කගෙන එන්න."
මම ස්වර්ණාට කීවෙමි.
මඳ වේලාවකින් ජයසිරි පැමිණි අතර ලිපිනයේ ඇති ප්‍රදේශය ජයසිරි දැන සිටියේය.
" ජයසිරිට පුළුවන්නේ මේ එඩ්රස් එකට ගිහින් පොඩ්ඩක් විස්තර හොයාගෙන එන්න."
" පුළුවන් මැඩම්. හෙට එනකොට හොයාගෙන එන්නම්."
පසුදා උදෑසන මා වාට්ටුවට යන විට දීපිකා නම් උපස්ථායිකාව සිරියාවතී අම්මා පිරිසුදු කර බත් කවමින් සිටියේය. එදිනත් ගෙදරින් කිසිවකුත් සිරියාවතී අම්මා බලන්න පැමිණ සිටියේ නැත. ජයසිරි මා සොයාගෙන ආවේ ඔය අතරය.
" මැඩම්, මම ගියා අර එඩ්රස් එක හොයාගෙන. ඒ මිනිස්සු මේ ගැන මොනවත්ම දන්නේ නැහැ. ඒ ගෙදර හිටපු අම්මා මීට අවුරුදු දෙකකට විතර ඉස්සර නැතිවුණා. මාත් මළගෙදර ගියා. මේක මොකක්ද ලොකු හොරයක්."
" එහෙනම් තව බලබල ඉඳලා බැහැ. දැන්ම පොලීසියට ඉන්ෆෝම් කරන්න වෙයි."
වහා කාර්යාලයට ගිය මම රෝහල අයත් පොලීසියට සිරියාවතී අම්මා පිළිබඳ දැනුම් දුන්නෙමි.
ඒ අනුව දහවල් කාලයේ පොලීසියෙන් පැමිණි අතර සිරියාවතී අම්මාගෙන් විමසූ එකදු පැනයකටවත් ඇයට හරි හැටි පිළිතුරු දිය නොහැකි විය.
නිවාඩු ලබා සිටි ප්‍රධාන වෛද්‍යවරයා සඳුදා සේවයට වාර්තා කළේය. බදාදා සිට මා නිවාඩු යාමට නියමිතව තිබුණි.සිරියාවතී අම්මා පිළිබඳ මා ඔහුව දැනුම්වත් කළ අතර ඔහුගේ අදහස වූයේ දැනටමත් මා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.
අඟහරුවාදා දිවා ආහාරය සඳහා නිල නිෙවසට ගොස් සිටින අතරය ස්වර්ණා දිව ආවේ.
" මොකද ස්වර්ණා හදිස්සියක් ද?"
" අන්න මැඩම් හොරා ඇවිල්ලා"
ස්වර්ණා පැවසුවේ කට කොනක් ඇදකරමිනි.
" කවුද?"
" සිරියාවතී අම්මගේ පුතා?. මම බලනකොට හොරෙන්ම එක්කගෙන යන්නයි ලෑස්තිය ."
මම වහාම ස්වර්ණා සමඟ වාට්ටුවට වෙත ගියෙමි.
අප යන විට සිරියාවතී අම්මාගේ පුතා සිටියේ ගමන් මල්ල අසුරමිනි.
" අදවත් ආව එක හොඳයි.
අපි හිතුවේ අම්මව අපිටම බාරදීලා ගිහින් කියලයි."
" අනේ ඩොක්ටර් අපිට ලොකු කරදරයක් වුණා. ඒකයි එන්න බැරි වුණේ."
ඔහු බයාදු ලෙස පැවසීය.
" මොන කරදරයක් වුණත් එහෙම ලෙඩෙක් ගෙනැත් දාලා සද්ද නැතිව ඉන්න පුළුවන් ද? ඊටත් දවස් පහක්ම. තමන්ට එන්න බැරිනම් වෙන කෙනෙක් හරි එවන්න තිබුණානේ. පහුවෙනිදාම ටිකට් කැපුවා."
“නම්බර් එකත් බොරු. ඇඩ්රස් එකත් බොරු."
බිම බලාගෙන සිටි ඔහු වදනක් හෝ කතා කළේ නැත. මා ඔහුව ප්‍රධාන වෛද්‍යවරයා වෙත කැඳවාගෙන ගියෙමි.
" අපිට ඇත්තම කියන්න. නැත්නම් පොලීසියට දන්වන්න වෙනවා ආව බව. මොකද්ද මෙතැන සිද්ධවුණේ?."
මඳක් නිහඬව සිටි ඔහු,
" මම ඇත්තම කියන්නම්. සර්ටයි, මැඩම්ටයි අහගෙන ඉන්න පුළුවන් නම් තේරෙයි මම මොනතරම් අසරණ මිනිහෙක් ද කියලා."
ඔහුගේ හඬ, බිඳුණු අතර ඇස්වල කඳුළු පිරී තිබිණි.
" වාඩිවෙන්න."
මඳක් මෙල්ලවූ ප්‍රධාන වෛද්‍යවරයා ඔහුට තමා ඉදිරිපිට ඇති අසුන පෙන්වීය. ඔහු වහා ඒ අසුනේ වාඩිවූයේ තම සිරුර තවදුරටත් ඔසවාගෙන සිටීමට ශක්තියක් නොමැත්තෙක් පරිද්දෙනි.
" මගේ තාත්තා වහලෙකින් වැටිලා මැරෙනකොට මට අවුරුදු අටයි. මම එකම දරුවා. කඩයප්පන් හදලා තමයි අම්මා මාව ජීවත් කළේ. ශිෂ්‍යත්වය පාස් වෙලා මම කුරුණෑගල ප්‍රසිද්ධ ඉස්කෝලෙකට ඇතුළු වුණා.
අපේ බැරිකම නිසාම උසස්පෙළට මම තෝරගත්තේ කලා විෂයන්. ඒත් පළවෙනි පාරෙන්ම මම කැම්පස් අහුවුණා. ඒ කාලේ අම්මා හුඟක් දුක් වින්දා. ඔය හැමදේම අතරේ කැත නැතිව ජීවත් වෙන්න පුළුවන් තරමට ගේත් අම්මා හැදෙව්වා.
කැම්පස් අවුට් වුණාට පස්සේ මට ලැබුණේ රජයේ ලිපිකාර තනතුරක්.වැඩ කරන ඔෆීස් එකකදී හම්බවුණ චම්පිකාව බැඳලා ගෙදරම පදිංචි වුණා. එයත් ක්ලාක් කෙනෙක්. අපිට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. අපි වැඩට යන අතරේ ඒ දරුවෝ තුන්දෙනාවම ලොකු කළේ අම්මා.
චම්පිකාගේ හීනය වුණේ තට්ටු දෙකේ ගෙයක්. එයාම ලෝන් එකක් දාලා සල්ලි හොයාගෙන හිටපු ගේම වෙනස් කරලා තට්ටු දෙකට හැදුවා. එයාගේ පඩියෙන් වැඩි කොටස ලෝන් එකට කැපෙනවා. ඔය අතරේ තමයි හොඳට හිටපු අම්මා හදිස්සියේ වැටිලා එක්තැන් වුණේ. ඒ අවුරුදු පහකට කලින්. එදා ඉඳලම අම්මා ඇඳේ. සිහියත් හොඳ නැහැ. කවන්න, පොවන්න, නාවන්න ඔක්කොම කරන්න ඕෙන.
කෙනෙක් ළඟ නවත්තන්න තරම් වත්කමක් අපට නැහැ. පැම්පස් වුණත් හරිම ගණන්. මම වැඩට යන්න කලින් අම්මව සුද්ද කරලා කවල පොවලා ඔක්කොම කරනවා.ආයේ හවසට ගෙදර ආව ගමනුත් අම්මගේ වැඩ ටික ඉවර කරලයි අනෙක් හැමදේම කරන්නේ.
චම්පිකා නරක කෙනෙක් නෙවෙයි. එයා අම්මගේ කෑම ටික, බෙහෙත් ටික වේලාවට ගෙනැත් දෙනවා. ඒත් එයාට දරුවෝ තුන්දෙනෙක්ගේ වැඩ තියෙනවා. ක්ලාස් ගෙනියන ගේන එකම ඇති. රස්සාව වගේම ගෙදර දොර වැඩත් තියෙනවා.
ලොකු දුව ඕ ලෙවල් කළා මේ අවුරුද්දේ. දැන් අවුරුදු ගණනාවකින් අපි පවුලක් විදිහට ට්‍රිප් එකක් ගිහින් නැහැ. ළමයි කවදාවත් නුවරඑළි ගිහින් තිබුණේ නැහැ. අපේ ඔෆීස් එකේ කට්ටිය මේපාර අවුරුදු ඉවරවෙලා නුවරඑළියේ ට්‍රිප් එකක් යන බව වැරදීමකින් මට ගෙදරදී කියවුණා. ඒක කියපු වෙලාවේ ඉඳලම ළමයින්ගෙන් බේරිල්ලක් නැහැ අපිත් යමු කියලා. වචනෙන් නොකිව්වට චම්පිකාගෙත් ලොකු ආසාවක් තිබුණා යන්න.
ඒත් ප්රශ්නය වුණේ අම්මව දාලා යන එක. ඒ දවස් කීපයට ගෙදර නවත්වන්න නෑයෙක්වත් හෙව්වට හම්බ වුණේ නැහැ. ලෙඩෙක් ළඟ ඉන්න අය දවසකට රුපියල් හය දාහක් විතර ඉල්ලුවා. ඒ වගේ මුදලක් ගෙවන්නයි, ට්‍රිප් එක යන්නයි කොහොමටවත්ම බැහැ. අන්තිමට ගැළපෙනම විසඳුම කිව්වේ ඔෆීස් එකේ යාළුවෙක්.”
නිමි