පරිසරයත් රැක ගෙන කෝවිඩ්වලින් බේරෙමු.

පෙබරවාරි 3, 2021

 

මිහිතලය කෝවිඩ් නිසා කබලෙන් ලිපට වැටුණා කිව්වොත් වරදක් නැහැ. වසංගතය පැමිණීමටත් පෙර සිටම ලෝකය පරිසර දූෂණය නිසා පණ අදිමින් සිටින රෝගියකුගේ තත්ත්වයට පත්වී තිබුණා. දැන් සිදුවී ඇත්තේ අඬන්න සිටි මිනිසාට ඇඟිල්ලෙන් ඇන්නා වාගේ දෙයක්. කෝවිඩ් - 19 නිසා මුහුණු ආවරණ, අත් ආවරණ, සනීපාරක්ෂක දියර බෝතල්, ප්ලාස්ටික් මුහුණු වැසුම් ( ෆේස් ෂීල්ඩ් ) කරළියට පැමිණියා.

පාරිසරික විද්‍යා හා තාක්ෂණික ජර්නලයේ මෑතකදී පළවූ අධ්‍යයනයකින් හෙළිවී තිබුණේ සෑම මාසයකම මුහුණු ආවරණ බිලියන 129 ක්, අත් වැසුම් බිලියන 65 ක් බැහැර කරන බවයි. එබමණක් නොව මේවා ප්‍රවාහන, නිෂ්පාදන ක්‍රියාවලියේදී ද පරිසරයට එක් වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අති විශාලයි.

ජර්මනිය වැනි රටක වසරකට අවශ්‍ය වන ශල්‍ය මුව ආවරණ ප්‍රමාණය බිලියන 12 කට අධිකයි. ඒ ආශ්‍රිතව පිටවන කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය දළ වශයෙන් ටොන් 720,000 කට ආසන්නයි. එය වසරක් පුරා රථ වාහන 141,114 ක් ධාවනය වන විට පිට වන කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රමාණයට සමානයි. එන් 95 හෝ එක් වරක් භාවිත කළ හැකි මුහුණු ආවරණ පලඳීන්නකුට වඩා කපු මුහුණු ආවරණ පලඳීන්නකුගෙන් පරිසරයට විස එක් වන්නේ අඩුවෙනි. ඒවා සෝදමින් භාවිත කිරීමට ද පුළුවන්.

එන් 95 සහ ශල්‍ය මුව ආවරණ නිසි ලෙස බැහැර නො කිරීම නිසා ගොඩබිම මෙන්ම ජලජ පරිසරයට ද විශාල විනාශයක් සිදු වෙනවා. මුව ආවරණයක් ඉවත් කරද්දී එහි පටි කපා ඉවත් කිරීමෙන් සතුන් පැටලී අනතුරට ලක් වීම වළක්වා ගන්න පුළුවන්. මුව ආවරණයක් සම්පූර්ණයෙන් දිරා පත් වීමට වසර 450 ක් වත් ගත වෙනවා. ඒවා දිරා යනවා කියන්නේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් තත්ත්වයට පත්වීමයි. ක්ෂුද්‍ර ප්ලාස්ටික් අනාගත ලෝකයට විශාල තර්ජනයක්. අපේ දූ දරුවන් කෝවිඩ් - 19 ටත් වඩා භයානක නිදන්ගත සෞඛ්‍ය තර්ජනවලට ක්ෂුද්‍ර ප්ලාස්ටික් නිසා ගොදුරු වෙන බව දැනටමත් සොයාගෙන තිබෙනවා. කපු මුහුණු ආවරණ භාවිත කිරීමත්, සැනිටයිසර් වෙනුවට සබන් හා ජලය භාවිත කිරීමත් අපට පරිසරය වෙනුවෙන් ගත හැකි ආදරණීය පියවරක්.

අප පලඳීන මුහුණු ආවරණ, සැනිටයිසර් හෙවත් සේදුම් කාරක දියර අඩංගු බෝතල් ආදියෙන් පරිසරයට කොපමණ කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රමාණයක් නිකුත් වනවා ද කියා දැන ගත හැකි ගණක යන්ත්‍රයක් ද තිබෙනවා. මෙය කෝවිඩ් - 19 අපද්‍රව්‍ය ගණක යන්ත්‍රය ( covid - 19 waste calculator )  කියා හඳුන්වනවා. https://www.omnicalculator.com/ecology/covid pollution  යන වෙබ් අඩවියට පිවිස අවශ්‍ය කරන ශල්‍ය මුහුණු ආවරණ ගණන සහ භාවිත වන කාලය ලබා දීමෙන් තමන්ගෙන් පරිසරයට සිදුවන විනාශය ගැන දැන ගන්න පුළුවන්. කෝවිඩ් පරිසරය ට වසංගතයක් නො වන ලෙස ජීවත් වීම කෝවිඩ් - 19 න් ආරක්ෂාවීම හා සමානව ම වැදගත්. නො එසේ නම් අප අනාගත පරපුර කෝවිඩ් - 19 ටත් වඩා දරුණු ව්‍යසනයකට ඇද දමනවා.

 

 

 

මළ සිරුරකින් කොරෝනා බෝවිය හැකිද?

 

 

නව කොරෝනා වෛරසය ජීවත් වීම මෙන්ම මියයාමත් මිනිසුන්ට ප්‍රශ්නයක් කරලා. මිය ගියත් මළ සිරුරට ද ගැලවීමක් නැහැ. මළ සිරුරු ආදාහනය කරනවාද නැද්ද කියා උභතෝකෝටික ප්‍රශ්නයක් ද මේ වන විට මතු වෙලා. මිනියකින් පවා වෛරසය තවත් කෙනකුට පැතිරිය හැකිද? සමහරුන් රෝග ලකුණු නො පෙන්වා මිය යනවා. මෘත දේහයට පීසීආර් පරීක්ෂණය කළ පසුවයි කෝවිඩ් - 19 තිබූ බව දැන ගන්නේ. මෙය මිය ගිය පුද්ගලයාගේ ආශ්‍රිතයන්ටත් දැවැන්ත ප්‍රශ්නයක්.

වාසනාවකට වෛරසයකට බැක්ටීරියාවකට මෙන් ස්වාධීනව වර්ධනය වීටම පුළුවන්කමක් නෑ. වෛරසයකට වර්ධනය වීමට සජීවී සෛලයක් පැවතිය යුතුමයි. වෛරසය තිබූ කෙනකු මිය ගියොත් වෛරසය තව දුරටත් වර්ධනය වන්නේ නැහැ. වෛරසයේ පැවැත්මට පරිසර උෂ්ණත්වය බලපානවා. සීත පරිසරයක වෛරසය දිගු කලක් පවතිනවා. උෂ්ණත්වය වැඩි පරිසරයක වෛරසය අක්‍රීය වෙනවා. මේද ආවරණයක් සහිත වෛරස උෂ්ණත්වය අඩු පරිසරයක සීග්‍රයෙන් බිඳ වැටෙනවා. තවමත් සැබෑවටම මිය ගිය සිරුරක ඇති නව කොරෝනා වෛරසයට වන දේ ගැන එතරම් පරීක්ෂණ සිදුකර නැහැ. එහෙත් මෑතකදී වැලඳුණු කුරුලු උණ, ඉබෝලා වැනි වෛරස ගැන නම් පර්යයේෂණ සිදුකර තිබෙනවා. කුරුලු උණ වැලඳී මිය ගිය සතුන්ගේ සිරුරුවල කුරුලු උණ ඇති කරන වෛරසය කාමර උෂ්ණත්වය ය‍ටතේ දින 15 ක් පමණ තිබෙන විට වෛරසයෙන් සියයට අනූවක් අක්‍රිය වී අවසන්. අක්මාව තුළ ඇති වෛරස අංශු අක්‍රිය වීමට දිනකට අඩු කාලයක් ද පිහාටුවල ඇති වෛරස අක්‍රිය වීමට දින දහයක කාලයක් ද ගත වෙනවා. මැරුණු සතා ශීතකරණයේ තබා ගැනීමේදී වෛරසය මාස දෙකක් සජීවීව තිබෙනවා. නව කොරෝනා වෛරසය කෙනකුගෙන් තවත් තැනැත්තෙකුට සෑදෙන්නේ වැලඳී මුල් දින කීපයේ පමණයි. ඉන්පසුව සිරුරේ වෛරස කැබලි තිබුණත් අන් අයට බෝ වන්නේ නැහැ. ඒත් ඉබෝලා වැනි වෛරස ශරීරගත වූවන් මිය ගොස් දින දහයකට පසුවත් ඒ වෛරසයට රෝගය බෝ කිරීමේ හැකියාවක් පවතිනවා. නව කොරෝනා තවමත් අබිරහස් ගුහාවක් වගෙයි. සියලු දේ දැන ගන්න මේ ගුහාවේ තවත් බොහෝ දුර යායුතුව තිබෙනවා.

 

 

අන්තර්ජාලයෙනි