විස්කෘත පවුලක් නම් වාසි රැසයි

ජූලි 25, 2022

ගෘහ කළමනාකරණ ක්‍රියාවලියට හිමිවන්නේ සුවිශේෂී තැනක්. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඒ පිළිබඳව දැනුම්වත් වූ විට ගෘහීය සම්පත් පිළිබඳ මනා වැටහීමක් ලබා ගත හැකියි. එමඟින් පවුලේ දියුණුවට ඒවා යොදාගෙන ආර්ථික වාසි ලබා ගැනීමට ඔබට හැකි වේවි. මේ පවත්නා අර්බුධකාරී කාලයේ ඒවාට විසඳුම් තම පවුල තුළින්ම ලබා ගැනීමට අවැසි ශක්තිය ඔබට ලැබේවි.

 

“ කළමනාකරණය“ යනුවෙන් හඳුන්වන්නේ අපේක්ෂිත අරමුණු කරා යාම සඳහා නිශ්චිත පියවර ඔස්සේ ක්‍රියාත්මක වීමයි. මේ සඳහා විවිධ වූ බොහෝ නිර්වචන ඇත. මෙහිදී ගෘහ කළමනාකරණ ක්‍රියාවලිය කුමක්දැයි අප අවබෝධ කරගත යුතුයි.

“ගෘහීය සම්පත්“ ආරක්ෂා කර ගනිමින් පවුලේ සමාජිකයන් හා එක්ව යන ගමනකට මුල පිරිය යුතු කාලයකි මේ. මිනිසාට සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට තම අවශ්‍යතා නිසිලෙස ඉටු කර ගත යුතුයි. තෘප්තිමත් හා මානසික වශයෙන් සුවතාවක් ලැබේ. එයට ගෘහීය සම්පත් බලපායි. මේ ගෘහීය සම්පත් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.

 

1. මානව සම්පත්

2. මානව නොවන සම්පත්

 

මානව සම්පත් අපේ පවුලේ සාමාජිකයන් සතු දේවල්ය. ඒවා නම් දැනුම, ආකල්ප, කුසලතා සහ ශ්‍රමයයි. තම පවුලේ දියුණුවට පවුලේ සාමාජිකයන්ගේ දැනුම ඉතා වැදගත්ය. එසේම ඒ අය සතු යහපත් ආකල්ප, විවිධ වූ දක්ෂතා කුසලතා හා හැකියාවන් ද පවුලේ දියුණුවට යොදාගත හැකි මානව සම්පත්ය. එපමණක් නොව ශ්‍රමය පවුලේ දියුණුවට යොදගත හැකි අනෙක් මානව සම්පතයි. අපේ පුරාණ ජන සමාජයේ පැවැති පවුල විස්කෘත පවුලයි. එහි ප්‍රධාන ලක්ෂණය වන්නේ පරම්පරා තුනක් හෝ ඊට වැඩි ගණනක සාමාජිකයන් එකම නිවෙසක් තුළ ජීවත් වීමයි. මෙය න්‍යෂ්ටික පවුල් ව්‍යාප්ත වීම තුළින් ගොඩ නැගේ. එහි ප්‍රධාන වාසිය වන්නේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය වන ශ්‍රමය පවුල තුළින්ම ලබා ගැනීමයි.

වර්තමානය වනවිට විස්කෘත පවුල් ක්‍රමය අභාවයට යමින් න්‍යෂ්ටික පවුල් ක්‍රමය වැඩි වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. නමුත් සමාජ අර්බුධ රැසක් මේ නිසා මතු වී ඇත. එබැවින් විස්කෘත පවුල තුළ ඇති වාසි රැසක් අහිමි වී ඇත. සැබැවින්ම,

විස්කෘත පවුල තුළ වැඩිහිටි සාමාජිකයන් වැඩි පිරිසක් සිටින නිසා ආරක්ෂාව වැඩිය.

ඥාති සම්බන්ධතාව නිසා කරදර බෙදාහදාගෙන ඒවාට මුහුණ දිය හැකියි.

සාමාජිකයන් වැඩි නිසා කාර්යක්ෂමතාව වැඩිය.

සංස්කෘතික දායාදයක් පරම්පරාවෙන් පරම්පරාවට පවරා දීමටත්, සාරධර්ම වර්ධනයටත් වැඩි අවස්ථා සැලසේ.

ත්‍යාගශීලී බව වැඩිය.

පරාර්ථකාමී බව වැඩිය.

ඉවසිලිමත් බව වැඩිය.

මේ සියලු වාසි ප්‍ර යෝජන සහ සම්පත් න්‍යෂ්ටික පවුල තුළින් අපට නොලැබේ. පිටස්තර පුද්ගලයන් මඟින් එම කාර්යයන් කර ගැනීමේදී විශාල පිරිවැයක් දැරීමට සිදු වේවි. නමුත් පවුලේ සාමාජිකයන් තම දැනුම, ආකල්ප, කුසලතා, ශ්‍රමය යොදාගෙන පවුලේ අවශ්‍යතා ඉටු කර ගන්නේ නම් ආර්ථික වාසි රැසකි.

එසේම නිවෙසේ ජීවත්වන සාමාජිකයන්ට තෘප්තිමත්ව දිවි ගෙවීමට මෙමඟින් හැකි වේ. එසේම පවුලේ අරමුණු සාක්ෂාත් කර ගැනීමටත් හැකියි. එබැවින් මේ සඳහා සම්පත් නිසිලෙස කළමනාකරණය කළ යුතුය. රටක් ලෙස ද අප රටේ සම්පත් මෙලෙස කළමනාකරණය කර ගන්නේ නම් සංවර්ධනය කරා ළඟා විය හැකියි.

සැලසුම් කිරීම

සංවිධානය කිරීම

ක්‍රියාත්මක කිරීම සහ ඇගයීම

පාලනය කිරීම

යන පියවර ඔස්සේ විධිමත්ව ක්‍රියාත්මක විය යුතුයි. මේ තුළින්

 

පවුලේ අවශ්‍යතා හා අපේක්ෂාවන් ඉටු කරගත හැකි වීම. අන්‍යොන්‍ය අවබෝධය ලබා ගත හැකි වීම

පවුලේ සාමාජිකයන්ගේ මානසික සුවය ඇති වීම.

පවුලේ සාමාජිකයන් එකිනෙකාට ආදරය, කරුණාව දැක්වීම, ගරු කිරීම, පිළිගැනීම ඇති වීම, පවුලේ දියුණුව ඇති විම.

පවුලේ සමඟිය සහ සහයෝගය ඇති වීම

තම පවුල් පරිසරය, තමන් ජීවත් වන ගෘහය සුවදායි ස්ථානයක් බවට පත් වීම ආදී වාසි රැසක් අත් වේ.

විධිමත් කළමනාකරණයකින් යුතුව කටයුතු කරන ඔබට තම පවුලේ අභිවෘද්ධිය, සමාජ ආර්ථික ප්‍රතිලාභ ලැබීම නිත්‍ය ලෙස ඉටු කරගත හැකිය.

අපගේ දෛනික ගෘහ කාර්යයන් වන ආහාර සැපයීම, දරුවන් රැකබලා ගැනීම, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීම, ජල, විදුලි පරිහරණය, උපකරණ නඩත්තුව, වගා කටයුතුවලට සාත්තු කිරිම ආදී විවිධ වූ කාර්යයන් අපි ඉටු කරමු. එසේම නිවෙසින් බැහැරට යන අවස්ථා විනෝද චාරිකා වැනි නිවෙසේ පවත්වන උත්සව ආදියේදී ඉටු කිරීමට විවිධ කාර්යයන් ඇත. මේ සෑම කාර්යයකදීම අපේක්ෂිත අරමුණු කරා යාමට හැකියි. මෙහිදී කාර්යය සැලසුම් කිරීම, කාලය සැලසුම් කිරීම මෙන්ම ශ්‍රමය සහ මූල්‍ය කළමනාකරණය අත්‍යවශ්‍යමය. ඒ පිළිබඳ ඉදිරි සතියේදී කතා කරමු.

 

උපදෙස් -

හඟුරන්කෙත කලාප අධ්‍යාපන කාර්යාලයේ

උපදේශන හා වෘත්තීය මාර්ගෝපදේශ

සම්පත්දායිකා එච්.එම්. ඉන්ද්‍රානි විජය බණ්ඩාර

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.