පිළිසිඳ ගැනීම තහවුරු කරගන්න

ගෙදරදීම කරන ටෙස්ට් එක
මාර්තු 24, 2021

 

කිරි සිහිනය සැබෑ කරගැනීමේ බලාපොරොත්තු පෙරදැරි කොටගෙන සිටින හිරණ්‍යා සහ සේමිතට උදාවන හැම දවසක්ම හරිම නැවුම්. සුන්දර සිතිවිලි ජනිත කරගනිමින් සිටින මොවුන් උදෑසනට අවදි වී එක්වරම ඇඳෙන් බසිනු වෙනුවට කරන්නේ එකිනෙකාට තුරුලු වී විනාඩි කිහිපයක් ගත කිරීම.

 

“අද ඔයා හරිම අමුතුයි... මොකද ඒ?”

“මට හිතෙනවා උදෙන් ම යුරීන් ටෙස්ට් කළොත් හොඳයි කියලා. අපි අතරට පුංචි කිරිකැටියෙක් එන දවස ගැන හිතද්දි. අපි තුන්දෙනා එකට තුරුලුවෙලා ඉන්න දවස් ගැන හිතද්දි. මට ඉවසුමක් ඇත්තෙම නැහැ.”

හිරණ්‍යා එහෙම කියද්දි සේමිතට හිරණ්‍යා ගැන ආදරයක් වගේම ගෞරවයක් හිතේ උපන්නේ.

“හරි හරි එන්නකෝ ඉතිං අපි තව ටික වෙලාවක් මෙහෙමම ඉඳිමුකෝ “

සේමිත හිරණ්‍යා ටිකක් තදින් ම තුරුලු කරගත්තා.

අදහස් අතින් වගේම හැම අතින් ම ගැළපෙන යුවළක් එකට එක්ව කූඩුවක් තනන්න ලැබෙනවා කියන්නේ ඇත්තට ම වාසනාවක්.

දරුවකු පිළිසිඳ ගැනීම පිළිබඳ නැවුම් සිතුවිලිවල හැමදාමත් ඉන්න නිසා සේමිත ගැබිනි බව නිවෙසේදී ම පරීක්ෂා කිරීමට තිබෙන පටි (Early p‍regnency test strips) කිහිපයක් ම ගෙනෙල්ලයි තිබුණේ.

නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා හමුවට ගිය වෙලේ හිරණ්‍යා ඒ පිළිබඳ විස්තරත් දැනකියා ගන්න අමතක කළේ නැහැ.

සාමාන්‍යයෙන් ක්‍රමානුකූලව මාසික ඔසප්වීම සිදුවන කාන්තාවකට ගැබ් ගැනීම පරීක්ෂා කිරීම පහසුයි. ඊළඟ ඔසප්වීම සිදුවන්නට නියමිත දිනට පසු දින HCG පරීක්ෂාව කළ හැකියි. උදාහරණයක් විදිිහට අපි හිතමු මාර්තු මාසේ 25 දා ඊළඟ ඔසප්වීම සිදුවීමට නියමිත දිනය කියලා. මාර්තු 26 දාම වුවත් HCG පරීක්ෂාව (Human Chorionic Gonadotropin) කළ හැකියි. ඔසප්වීම සිදුවීමට නියමිත දිනයට පෙර දිනය, නියමිත දිනයේ දී පවා මෙම පරීක්ෂාව කරගැනීමට අවස්ථාව තිබෙනවා. නමුත් ඊට පසු දින සිට කිරීම වඩාත් සුදුසුයි.

මේ දිනයේදීම HCG පරීක්ෂාව කරනවා නම් උදෑසනින් ම අවදි වූ විගස මුත්‍රා පහ කරද්දී අවශ්‍ය මුත්‍රා සාම්පලය ගන්න පුළුවන්. වතුර හෝ වෙනත් කිසිවක් පානය නොකර මුත්‍රා සාම්පලය ගැනීම වැදගත්. ඒ උදේ පාන්දර බීමෙන් සාන්ද්‍රණය වැඩියි. තනුක ගතිය අඩුයි. වතුර බිවූ විටදි සාන්ද්‍රණය ගතිය අඩුවී ගැබ් ගෙන ඇති ද යන්න HCG පරීක්ෂාවට හසු නොවෙන්න පුළුවන් නිසා.

 

HCG යනු

දරුවකු පිළිසිඳ ගත් දා පටන් කලලය වටා සෑදෙන වැදමහෙන් ස්‍රාවය වන හෝර්මෝනය තමයි HCG කියන්නේ. ගැබ්ගෙන ඇති අයගෙන් පමණයි මේ හෝර්මෝනය ස්‍රාවය වෙන්නේ. මේ හෝර්මෝනය අම්මගේ රුධිරයට එකතු වී පෙරීමකට ලක්වීමෙන් අනතුරුව මුත්‍රාවලට එකතු වෙනවා. රුධිර පරීක්ෂාවක දී වගේම මුත්‍රා පරීක්ෂාවක දී ගැබ්ගෙන ඇත්දැයි තහවුරු වෙන්නේ ඒ අනුව.

හැබැයි ඔසප් වීම සිදුවීමට තබූ දිනය පසුවී දින කිහිපයක් හෝ සතියක් පමණ ගතවූ පසු දවසේ ඕනෑම වෙලාවක දී කරන HCG පරීක්ෂණයට ගැබ්ගෙන ඇතිද නැද්ද යන්න හඳුනා ගන්න පුළුවන්.

 

HCG පරීක්ෂාව කරන්නේ කොහොමද?

මේ පිළිබඳ අත්දැකීමක් මින් පෙර හිරණ්‍යාට නොතිබුණ නිසා සිතට පොඩි චකිතයක් නොආවමත් නොවේ. සේමිතට නොකිව්වාට ඇගේ හිත කිව්වෙම තමන් ගැබ්ගෙන ඇතියි කියලා. එදා සේමිත කාර්යාලයට යන්න කලින් කොහොම හරි මේ දේ කරන්න ඕන කියලා හිරණ්‍යා හිතුවා.

මිලිමීටර් 5ක පමණ දිගින් යුතු මේ පටිය පාට කරපු පැත්තෙන් අල්ලා ගෙන මුත්‍රා සාම්පලය ගත් විනිවිද පෙනෙන භාජනයට දමනවා. එහිදී ර්චය යනුවෙන් සඳහන් කොටස දක්වා පමණයි ගිල්වන්නේ. ඊට වඩා ගිල්වන්නේ නැහැ. ටික වෙලාවකින් පටිය දිගේ මුත්‍රා ඉහළට ගමන් කරනවා. ඉන්පසු පාට කරපු හරියට පහළින් ඉරි දෙකක් මතු වෙන්න පටන් ගන්නනවා. ඉන් අදහස් වෙන්නේ ගැබ් ගෙන ඇති නමුත් එක් ඉරක් නම් සටහන් වුණේ කලලයක් කුස පිළිසිඳ ගෙන නොමැතිබවයි. එක් ඉරක් තිබියදී අනෙක් ඉර යාන්තමට නම් සටහන් වෙන්නේ ගැබ්ගෙන ඇතැයි නිශ්චිතව ම කියන්න බැහැ. එවිට දින දෙකක් පමණ පමාවී නැවත පරික්ෂා කළ යුතුයි.

හිරණ්‍යාගේ දහසකුත් එකක් බලාපොරොත්තු සඵල වූ බව, ඇගේ කුසේ පුංචිම පුංචි කලලයක් පිළිසිඳ ගෙන ඇති බව සනිටුහන් කරමින් HCG පරීක්ෂාවේ දී ඉරි දෙකම සටහන් වුණා. මේ අවස්ථාවේ සේමිතත් ඈ සමඟින්මයි හිටියේ.

ඔවුන් දෙපළගේ මුහුණුවලින් මතු වූ ඒ අව්‍යාජ සිනහව, අපේක්ෂාවේ පහන් දැල්වූවා. දෙන්නට දෙන්නා එකිනෙකා සිප වැලඳ ගත්තා. දෙන්නගෙම ඇස්වලට සතුටු කඳුළු ඉනුවා. හරිම ආදරණීය මොහොතක්, වචනයෙන් විස්තර කළ නොහැකි තරමටම සුන්දර වූවක්.

 

 

 

 

උපදෙස්

ද සොයිසා කාන්තා රෝහලේ

නාරි හා ප්‍රසව

විශේෂඥ වෛද්‍ය රුවන් පතිරගේ