ගැබිනි සමයේ මුල් මාස තුනේ දී කරන රුධිර පරීක්ෂාවන්

අප්‍රේල් 7, 2021

සාමාන්‍යයෙන් කාන්තාවන් වැඩිපුරම ගොදුරුවන රෝගී තත්ත්වය වෙන්නේ මුත්‍ර ආසාදන. මෙය ගැබිනි මවුවරුන්ට තවත් වැඩියි

 

නව යුවළක් විවාහ දිවියට පත්වීමෙන් අනතුරුව ඔවුන් අතරට පුංචි සුරතලකුගේ ආගමනයත් සමඟින් එය අතිශය ශක්තිමත් පවුල් බැම්මක් බවට පත්වීම අතිශෝක්තියෙන් තොර කාරණයකි.

 

හිරණ්‍යාගෙත් සේමිතගෙත් හිතට නව බලාපොරොත්තුවක්. සිහිනයක් මල්ඵල ගැන්වීමක්. කිරිකැටි දරුවකුගේ මුහුණ බලන්නට තියෙන ආසාව නිසාම ගෙවෙන හැම දවසක්ම නැවුම් දවසක්.

හිරණ්‍යාට උදේට උදේට කායික අපහසුතා වැඩියි. ඇයට ඔක්කාරයට එද්දී සේමිත ඒ දෙස බැලවේ හරිම අසරණ විදිහට. “අනේ මටත් ඒ අපහසුතාවෙන් කොටසක් හරි බෙදා ගන්නට ඇත්නම්... සේමිතට එහෙමත් හිතුණා.

“වමනේ යන එකට බෙහෙතක්වත් ගන්න වෙයිද?”

සේමිත ඇහුවේ ඒ සම්බන්ධ අත්දැකීම් ඇත්තෙම නැති නිසා.

“මේක සාමාන්‍යයයි. අම්මලා ගොඩක් දෙනා මුල් මාස 3 ගතකරන්නේ මේ අපහසුතාත් එක්ක තමයි. පුංචි පැටියා වෙනුවෙන් මට ඒවා දරාගන්න පුළුවන්.”

ඇය සේමිත හිතුවාටත් වඩා හරිම ශක්තිමත්. ඒ ගැන ඔහුට නිහතමානී ආඩම්බරයකුත් තිබුණා.

ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ මඟ පන්වීම අනුව ඇය ප්‍රසූතිය සිදු කරන්නට බලාපොරොත්තුවන සොයිසා කාන්තා රෝහලේ 16 වන වාට්ටුව භාර නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය රුවන් පතිරගේ මහතාගේ සාහනයට සහභාගි වූවා. මේ වෛද්‍යවරයාව පුද්ගලික රෝහලක දී චැනල් කිරීමයි ඔවුන් ඊළඟට සිදු කළේ. මෙයින් නාරි හා ප්‍රසව විශේෂ වෛද්‍යවරයාට එම ගැබිනිය වෙනමම පරීක්ෂා කිරීමට අවස්ථාව ලැබෙනවා. රෝහල් සායනයේදීත් වෛද්‍යවරයා පරීක්ෂා කෙරෙනවා.

එහිදී ගමේ සායනයේදී සහ ප්‍රසූතිය සිදු කරන්නට බලාපොරොත්තුවන රෝහලේ නාරි හා ප්‍රසව සායනයේ දී සිදු කළ මූලික පරික්ෂණවලට අමතරව පෞද්ගලික අංශයෙන් පමණක් සිදු කරන පරීක්ෂණවලට පෙනී සිටීමට වෛද්‍යවරයාගෙන් උපදෙස් ලැබුණා.

FBC, UFR වලට අමතරව තවත් රුධිර පරීක්ෂණ කිහිපයක්ම සිදු කෙරුණා. FBC (Full Blood Count) වලින් මූලිකව මැන බැලෙන්නේ රුධිරයේ හිමොග්ලොබින් මට්ටම පරීක්ෂා කිරීම. ලංකාව වගේ රටවල කාන්තාවන් බොහොමයක් හිමොග්ලොබින් නියමිත මට්ටමේ නොමැති අය. බටහිර රටවලට සාපේක්ෂව මේ අය ගන්න කෑමබීම මත මෙය සිදුවන්නක්.

හිරණ්‍යාගේ අම්මාට හිරණ්‍යා ඇතුළුව දූලාම තුන්දෙනෙක්. අනාගතයේ මවක් වීමේ අපේක්ෂාවට පෙරදැරි කොටගෙන මෙලොවට බිහිවන දැරියක් පෝෂණීය ආහාරවේලක් ගැනීමට ඉඩහසර වෙන් කරවා ගැනීම හරිම වැදගත්. ඇය මේ දරුවන්ට යකඩ බහුල ආහාර වර්ග ලබාදීමට මෙන්ම ගන්නා ආහාරවල ඇති යකඩ නියමිත පරිදි උරාගැනීමට ඉඩ ඇහිරුවේ නැහැ. මේ නිසා හිරණ්‍යාට හිමොග්ලොබින් සම්බන්ධව කිසිම ගැටලුවක් මතු වුණේ නැහැ.

ගැබිනි සමයේ දී මුත්‍රා පරීක්ෂණය මසකට වරක් සිදු කෙරෙන්නක්. මුත්‍රාවල සීනි තිබේද, ප්‍රෝටීන් තිබේද? මුත්‍රා ආසාදන තිබේද? සැරව සෛල තිබේද? යන්න මෙහිදී පරීක්ෂා කෙරේ. මුත්‍රා පරීක්ෂණය සඳහා අවශ්‍ය මුත්‍රා සාම්පලය ලබා ගනිද්දී හොඳින් වතුර පානය කර සිටීම වැදගත්. නැත්නම් අනවශ්‍ය ලෙස මුත්‍රා සාන්ද්‍රණය වැඩිවෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කාන්තාවන් වැඩිපුරම ගොදුරුවන රෝගී තත්ත්වය වෙන්නේ මුත්‍රා ආසාදන. මෙය ගැබිනි මවුවරුන්ට තවත් වැඩියි. අනවශ්‍ය ලෙස මුත්‍රාවල සැරව සෛල තිබුණොත් Urine Culture test එකක් කෙරේවි.

ගර්භණී භාවයේ දී සමාජ රෝග සඳහා ගොදුරු වී ඇත්දැයි බැලීමට ඍච්අඹ් රුධිර පරීක්ෂාව සිදුවේ. මවට යම් සමාජ රෝගයක් වැලඳී ඇත්නම් එය දරුවාට යෑම වැළැක්වීමට කරන රුධිර පරීක්ෂණයකි. යම් හෙයකින් එවන් රෝගයක් වැලඳී ඇත්නම් ඖෂධ මඟින් දරුවාට ශරීරගත වීම වළක්වයි.

පුද්ගලික අංශයේ සිදුකරන තවමත් රජයේ මාතෘ සායනවල සිදු නොකරන පරීක්ෂණයකි, හෙපටයිටිස් B වැලඳී ඇත්දැයි බැලීම. මෙහිදී මව රෝග වාහකයකු නම් දරුවාට උපතේදී එය වැලඳේවි. Hepatitis Serface Antigen (Rapid) පරීක්ෂණය ගර්භණි සමයේදී කරන්නේ ඒ නිසයි.

ගැබිනි මවකට රුධිරය ලබාදීමේ අවස්ථාවක් උදාවුවහොත් කවර රුධිර ඝණය හිමි අයකු දැයි දැන සිටීම ඉතාම වැදගත්.

TSH පරීක්ෂාව දැනට ගර්භණී මවකට සිදු කරන්නේ පුද්ගලික අංශයේ පමණි. මව තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව යම් සංකූලතාවක් ඇති අයකු නම් එය දරුවාගේ බුද්ධියේ වැඩීමට බලපායි. මෙම පරීක්ෂණයෙන් අනාවරණය කරගන්නේ තයිරොයිඩ් හෝර්මෝනය ස්‍රාවය වන්නේ අඩුවෙන් ද, වැඩියෙන් ද, සාමාන්‍ය තත්ත්වයෙන් ද යන්නයි. යම් හෙයකින් අඩු වුවහොත් තයිරොක්සින් හෝර්මෝනය පිටතින් ලබාදීමට සිදුවේ.

HBAIV රුධිර පරීක්ෂාව සිදුකරන්නේ පසුගිය මාස 3 ඇතුළත මවගේ රුධිරයේ සීනි මට්ටම මැන බැලීමටයි. මෙයත් ගර්භණී මවකට පුද්ගලික අංශයෙන් කරගත හැකි රුධිර පරික්ෂාවකි.

වෛද්‍යවරයා චැනල් කිරීමෙන් හිරණ්‍යාට ගර්භණී භාවයේ මුල් මාස 3 දී කෙරෙන රුධිර පරීක්ෂාවන් සියල්ල කරගැනීමටත් ඒ පිළිබඳ අවබෝධයක් ලබාගන්නටත් හැකි විණි.

 

උපදෙස්

ද සොයිසා කාන්තා රෝහලේ

නාරි හා ප්‍රසව

විශේෂඥ වෛද්‍ය රුවන් පතිරගේ